Wednesday, 22 June 2022 - 7:33
'අඹ චානා' ඝාතන කොන්ත්රාත්තුව දනුකගෙයි; මැරුවේ ගණේමුල්ලේ සංජීව
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට ඊයේ (21) සවස මෝටර් රථයකින් කඩා වැදී එහි කඩකාමර කිහිපයක හිමිකරුවෙකු බව කියන පාතාලයට සම්බන්ධ සමන්ත පුෂ්පකුමාර නොහොත් 'අඹ චානා' ඝාතනය කර ඇත්තේ ඉන්දියාවට පැනගොස් සිටින පාතාල ප්රබලයකු වන කෙසෙල්වත්තේ දනුකගේ කොන්ත්රාත්තවකට බව හෙළිව තිබේ.
ඝාතනයට ලක්ව ඇති 42 හැවිරිදි අඹ වෙළෙඳසැල් හිමි සමන්ත ජාඇල ප්රදේශයේ පදිංචි කරුවෙකි.
මියගිය පුද්ගලයා වසර කිහිපයකට පෙර කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ පදිංචිව සිට ඇති බවත් ගිනිඅවි ළඟ තබා ගැනීම්, මත්කුඩු ජාවාරම් ඇතුළු පාතාල ක්රියාකාරකම් සම්බන්ධයෙන් ඔහු පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්ව ඇති බවද පැවසේ.
මේ පුද්ගලයා ඉලක්ක කර අවස්ථා කිහිපයකදීම වෙඩි ප්රහාර එල්ල වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු දිවි ගලවාගෙන තිබිණි.
මේ හේතුවෙන් ඔහු සිය පදිංචි ස්ථාන වරින් වර මාරු කරමින් සැඟවුණු ජීවිතයක් ගතකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඩුබායිහිදී ඇති වුණු අසනීප තත්ත්වයකින් ඩුබායිහිදී කෙසෙල්වත්තේ දිනුක ඉකුත් වසරේදී මිය යෑමෙන් පසු දිනුකගේ තැන ගන්නේ ධනුකය.
කෙසෙල්වත්තේ දිනුක මෙරටින් පලායන්නේ සුදු වෑන් රථවලට බියෙන් 2014දීය.
මේ වන විට ඔහු ඇතුළු මෙරට පාතාලයේ ප්රබලයන් රැසක් සිටින්නේ ඉන්දියාවේ එළිමහන් සිරකඳවුරක බව වාර්තා වේ.
එම සිරකඳවුරේ සිට ජංගම දුරකතන මඟින් ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්රබලයා සමඟ සම්බන්ධ වී ඔහු මඟින් මේ ඝාතන ඉලක්කය ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලින් හෙළිකරගෙන ඇති බව පැවසේ.
ගණේමුල්ලේ සංජීව මෙරට සිටින දරුණුතම පාතාල අපරාධකරුවෙකි.
මෑතකදී බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වූ ඔහු ද ඉන්දියාවට පලා ගොස් සිටින බව පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින පොලිස් අංශවලට ලැබී ඇති තොරතුරුවලින් හෙළිකරගෙන තිබේ.
මෑතකදී කොළඹ සහ ඒ අවට සිදු වූ වෙඩි තැබීම් රැසක වෙඩික්කරුවන් යොදවා ඇත්තේ මොහු විසින් බවට පොලීසිය විශ්වාස කරයි.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් සමඟ ගණේමුල්ලේ සංජීව කළ අවි ජාවාරමක් සහ ප්රභූ ඝාතන සැලසුමක් ද 2019 වසරේ රාජ්ය බුද්ධි සේවය මඟින් අනාවරණය කරගෙන තිබිණි.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊට සම්බන්ධව සිටි ගණේමුල්ලේ සංජීවගේ ගෝලබාලයන් සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රැසක් ගිනිඅවි සහ බෝම්බ සමඟ අත්අඩංගුවට ගත්තේය.
ඒ වන විට ගණේමුල්ලේ සංජීව සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය.
යුද හමුදාවෙන් පලාවිත් සිටින සෙබළුන් මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ද මොහුගේ කල්ලියේ සිටින බැවින් ඔහු කුලී ඝාතකයෙක් ලෙස ද කටයුතු කරන බව පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් සඳහන් කරයි.
මැනිං වෙළෙඳපොළේ ඝාතනය ද එවන් වෙඩික්කරුවෙක් යොදා සැලසුම්සහගතව කර ඇති බව පොලීසිය විශ්වාස කරයි.
නුවර පාර දෙසින් කටුනායක අධිවේගි පිවිසුම මඟින් වෙඩික්කරු පැමිණි මෝටර් රථය මැනිං වෙළෙඳපොළට ඇතුළු වී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
එම රථය ඉහළ මහලට ගමන්කර ඇති අතර වෙඩි තබා ඇත්තේ ඉහළ මහලේ වෙළෙඳසලක මේ පුද්ගලයා රැඳී සිටියදීය.
සිය ඉලක්කය නිසි ලෙස ලබාගත් වෙඩික්කරු වැඩි කලබලයකින් තොරව මෝටර් රථයට ගොඩවී පලා ගොස් ඇත.
මේ වෙඩි තැබීම මැනිං වෙළෙඳපොළේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල සටහන් වී තිබෙන බව පොලීසිය කියයි.