Thursday, 23 June 2022 - 12:37
අතන මෙතන කතාවලට රතන හිමි CIDයට!
පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළා යැයි පැවසෙන ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට උන්වහන්සේ මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය රතන හිමි,
"ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව.
විශේෂයෙන්ම මේ පවුලේ අය මා වෙත යොමු කළේ අපවත් වී වළාද මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මම කල්පනා කළා අපි සියලුදෙනාම නිදහස් වෙන්න ඕනේ. අනිත් එක ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා අපි නෙමෙයි ඉල්ලුවේ ප්‍රධාන වශයනේම. ඒක බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආශ්‍රිතව තියෙන විශ්‍රාමලත් නඩුකාරවරු, මනෝ වෛද්‍ය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් තමයි ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා ඉල්ලුවේ. අපි මේක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ, අවසාන වශයෙන් මේ නිදහස ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන නිසා. වක්‍රාකාරයෙන් යම් චෝදනාවකට අපි ගොනුවන නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම අද පැමිණිල්ලක් කළා."
ජූඩ් නිදහස් කරන්න උනන්දුවුණේ සල්ලිගත්ත අය තමයි - මෛත්‍රී
පසුගියදා දෙරණ 360 වැඩසටහනට එක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීමේදී එම පවුලේ සාමාජිකයන්ගෙන් කිසියම් අයකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කළ බවයි.
අදාළ ඝාතනයට දඬුවම් ලැබූ පුද්ගලයාට සමාව ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි පවුලේ සාමාජිකයන් සමග පැමිණ දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් සිදුකළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
"රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රතන හිමි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන්, වරින් වර රතන හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක. ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා. අර පවුලත් ක්‍රිස්තියානි පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කෝටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ... ගත්තෙත් නෑ..."
ප්රශ්නය - ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන් ද?
"ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්."