Monday, 27 June 2022 - 8:58
පුටින් දීපු ඩොලර් මිලියන අටසීය අපි රිටන් කලා - සමන්
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මෙරටට ඩොලර් මිලියන අටසියයක ආධාර මුදලක් ලබා දුන්නද ශ්‍රී ලංකාව ඉන් රුපියලක්වත් පාවිච්චියට නොගත් හෙයින් වසර දෙකක් පුරා එරට විදේශ කටයුතු සම්පත් දෙපාර්තමේන්තුවේ තිබූ එම මුදල රුසියානු සමූහාණ්ඩුව යළිත් හරවාගත් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පසුගියදා පැවැති 'ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්වය දිනේවා' යන සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
රුසියානු සමූහාණ්ඩුව සමග එකතුව අතීතයේ සිට ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකිරීමට අවස්ථාව තිබුණත් අවාසනාවට එවැනි අවස්ථා මෙරට කොන්ද පණ නැති පාලකයන් හේතුවෙන් ලංකාවට අහිමි වී ගිය බවද ඔහු කීය.
තමා තානාපතිව සිටි සමයේ රුසියාව සමග ද්විපාර්ශ්වික ගිවිසුම් දහඅටක් අත්සන් තැබූ බව ද ඔහු හෙළි කළේය.
එමෙන්ම රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයට ඩොලර් මිලියන ගණනක් ශ්‍රී ලංකාව නිසා අහිමි වුවත් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිසිදු ප්‍රකාශයක් රුසියානු ජනපතිට මෙරටින් යොමු නොවූ බවද හිටපු තානාපතිවරයා කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර හැට පහක් සැපිරුණද රුසියාවෙන් කිසිදු සහයෝගයක් ලබා නොගත් රටක් ලෙස ශ්‍රී ලංකාව දකින බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.
‘අපි තේ අපනයනය කරන ලෝකෙ දෙවන ලොකුම රට රුසියාව. ඔවුන් ලංකාවට රුසියානු සංචාරකයන් එවනවා. මේක විතරයි අපිට තියෙන ලොකුම ගනුදෙනුව. ඊට අමතරව අපි අඩුමතරමින් තෙල් පිරිපහදුවකටවත් උදව් ඉල්ලලා නෑ. රුසියානු සමූහාණ්ඩුවේ තෙල් ඩුබායිවල නැව්වලින් ඩොලර් 120 ගානේ අරගෙන ක්රෙඩිට්වලට විකුණනවා. ඉන්දියාවෙන් අපි ඩොලර් 85ට තෙල් ගන්නවා. රුසියාවෙන් දෙන තෙල් ඩොලර් 135ක් වෙලා. ඊට හේතුව අපි ක්‍රෙඩිට් එකටත් ඉන්දියාවට ගෙවනවා. රුසියාවෙන් තෙල් ගන්න අපිට කොන්ද පණ නෑ. ඊට හේතුව වෙන රටවල විදේශ ප්‍රතිපත්ති හදන්නේ තමන්ගේ රටේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති හදන්නේ විදේශ රටවල.’
මෙම සාකච්ඡාව අවසානයේ රුසියාවේ සහ ශ්‍රී ලංකාවේ මිත්‍රත්වයට සහයෝගය පලකරමින් රුසියානු ජනපති වැදිමීර් පුටින් වෙත යොමු කළ මිත්‍රත්වයේ සංදේශයක් ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි හට පිරිනමන ලදී.