Monday, 11 January 2021 - 13:14
රතනං පණීතං
...
 
සසර ගමන කෙළවර කර ගන්නට බුද්ධ චීවරය උරදරා සංසාර සාගරය තරණය කරමින් සිටි අතුරලියේ රතන හිමියෝ අවසානයේදී දියවන්නාව තරණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙමින් සසර ගමන ජයගැනීමේ සටන හමාර කළ සේක.
අතුරලියේ රතන හිමිගේ ජීවිතය හරි අපූරුය. 1962 වසරේදී මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ග්‍රාමයේදී උපත ලද රතන හිමියෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදීම ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමයට සම්බන්ද වූ උන්වහන්සේගේ දේශපාලන ගමන අවසානයේ නතරවූයේ සියළුම සුඛ විහරණ ලැබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකිනි. ලෞකික සැප හැරදමා සිවුරු පොරවාගත් උන්වහන්සේ අද සියළුම සැප සම්පත් භුක්ති විදිති. බලය ‍තනතුරු වෙනුවෙන් පක්ෂ මාරුකළ උන්වහන්සේට දැන් යන්නට පක්ෂයක් පාර්ලිමේන්තුවේ නැත.
මෑත යුගයේ මෙරට පහළවූ විචිත්‍ර ධර්ම පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු වූ ගංගොඩවිල සෝම හිමිගේ අපවත්වීම පෙරටුකර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිගේ නායකත්වයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් 2004 වසර පැවැති මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ “ජාතික හෙළ උරුමය”  නැමැති පක්ෂයෙනි. එම මැතිවරණයෙන් හෙළ උරුමය පක්ෂයට මන්ත්‍රීධූර නවයක් හිමිවිය. සංසාර සාගරය තරණය කරමින් සිටි අතුරලියේ රතන හිමියෝද දියවන්නාවන තරණය කර පාර්ලිමේන්තුවට ගොඩවූයේ ඒ බෝට්ටුවෙනි.
“ජාතික හෙළ උරුමය”  නැමැති පක්ෂය බිහිවන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ තිලක් කරුණාරත්නගේ නායකත්වයෙන් පිහිටුවා තිබූ “ සිහල උරුමය” නැමැති දේශපාලන පක්ෂය රීකන්ඩිෂන් වීමෙනි. චම්පික රණවක, උදය ගම්මන්පිල, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු සියල්ලන්ම හිටියේ ඒ සිහළ උරැමය පක්ෂයේය. දේශපාලන විචාරකයන් සිහළ උරුමය පක්ෂය හඳුන්වනු ලැබුවේ අන්ත ජාතිවාදී පක්ෂයක් ලෙසිනි. බසයකට අතරමගින් නගින මගීන් අතර මගීන්ම බැස යති. හදිසියේ පිහිටුවාගෙන හදිසියේම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන්නට තීරණය කළ ඒ පක්ෂයට මන්ත්‍රීධූරාපේක්ෂක හිමිවරැන්ද සොයගනු ලැබුවේ ද හදිසියෙනි. ඒ නිසා ධර්ම රාජයට යන්නට පාර කපන්නට පාර්ලිමේන්තුවට තේරීපත්වූ “ජාතික හෙළ උරුමයේ ”  මන්ත්‍රී හාමුදුරුන්ද ‍ශෝට් කට් හෙවත් කෙටි මං ඔස්සේ වෙන වෙන ගමන් ගියහ. කොළොන්නාවේ ශ්‍රී සුමංගල, ඕමල්පේ සෝභිත වැනි හිමිවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හැර ගියහ. එහෙත් අතුරලියේ රතන හිමියෝ මන්ත්‍රීධූර හැර ගියේ නැත.
තමා රජුන් තනන්නෙකු බව ඔප්පුකොට පෙන්වීමේ දැඩි ආශාවකින් රතන හිමියෝ පෙළෙති. 2015 දී මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීමට චම්පික රණවක, උදය ගම්මන්පිල ඇතුළු ජාතික හෙළ උරුමයේ නායකයන් සමඟ උන්වහන්සේ පෙරමුණ ගත්තේ එබැවිනි. පසුව උදය ගම්මන්පිල නැවත මහින්ද කදවුරට එක්විය. මහින්ද පරදවන්නට උන්වහන්සේ පිවිතුරු හෙටක් සදහා වූ ජාතික ව්‍යාපාරය පිහිටුවීය. අද පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයට වෙච්ච දෙයක් නැත. හැබැයි රතන හිමියෝ මේ සියළු ගේම් ගැසුවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ රතන හිමිට ත්‍යාගයක් වශයෙන් ලබාදුන් රාජගිරිය සදහම් සෙවණේ සිටය.
කෙසේ වෙතත් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් එවකට පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයගතේය. එම ජයග්‍රහණයේ ප්‍රධානතම කොටස්කරුව තමන් යැයි උන්වහස්සේ එකල පාරම්බෑවා අපිට මතකය. අනතුරුව පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ රජය බලයට ගෙනෙන්නට උන්වහන්සේ පෙරමුණ ගත්හ.
යහපාලන ආණ්ඩුව සමග අමනාප වූ රතන හිමියෝ හෙළ උරුමයෙන් හා චම්පික රණවකගෙන් වෙන්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළේය. ටික කලක් නිහඪව සිටි රතන හිමියෝ යළිත් පුවත් මවන චරිතයක් බවට පත්වූයේ ‍ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වූ මාරාන්තික උපවාසය හේතුවෙනි. උපවාසය පැවැත්වුවේ මව්වරුන් වඳකළ බවට චෝදනා එල්ලවූ කුරුණෑගල ශීක්ෂණ රෝහළේ වෛද්‍ය ශාෆි ෂිහාබ්දීන්ට එරෙහිවය.
පසුගිය ජනාධිපතිවරණයේදී උන්වහන්සේ සහය දැක්වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එහෙත් මහමැතිවරණයේදී උන්වහන්සේට නාමයෝජනා නොලැබුණ කල ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සමග එක්ව අපේ ජනබල පක්ෂය යනුවෙන් පක්ෂයක් පිහිටුවා ගත්‍තේය. එයට අපේක්ෂකයන් සොයාගත්තෙත් පක්ෂයේ තනතුරු බෙදාදුන්නෙත් කළබලයටය. පක්ෂයට සම්බන්ද ඇතැම් අපේක්ෂකයන් නමගිය පාතාල කරුවන්ය.
මහමැතිවරනයෙන් අපේ ජන බල පක්ෂයට ලැබුණු ඡන්ද අනුපාතය අනුව ජාතක ලැයිස්තුවෙන් මන්ත්‍රීධූරයක් හිමිවිය. එම මන්ත්‍රීධූරය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ලබාදිය යුතු බවට සමාජ මතය විය. එහෙත් මන්ත්‍රීධූරය බෙදාගන්නට භික්ෂූන් වහන්සේලා අතර ගැටුමක් ඇතිවි. පක්ෂයේ ලේකම් හිමිනමවූ වේදිනිගම විමලතිස්ස හිමියෝ අතුරුදන් විය. ඒ සම්බන්දයෙන් රතනහිමිට චෝදනා එල්ල විය. රතන හිමි සොයා පොලීසිය උන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානයට ගියද උන්වහන්සේද අතුරුදන්වි සිටියහ. කෙසේ වෙතත් අවසනායේදී පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හිමිවූයේ අතුරලියේ රතන හිමියන්ටමය. එය මාස දෙක තුනකින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලබාදීමට රතන හිමි පොරොන්දුවී ඇතැයි වාර්තාවේ. එහෙත් පොරොන්දුව ඒ හැටියටමස ඉටුවේදැයි කියන්නට බැරිය. මන්ද අපේ දේශපාලන ක්‍රමයම කඩවුණ පොරොන්දුවක් වන බැවිනි.
අද බොහෝ භික්ෂූන්වහන්සේලාගෙන් ශාසනික කාර්ය භාරය කෙරෙන්නේද යන්න ප්‍රශ්නයකි. සතරපේරුවේ දායක දායිකාවන්ටත් වඩා අද භික්ෂූන්වහන්සේලාට ප්‍රශ්නය. ඒවා බොහෝවිට දේශපාලනික ඒවාය. ඒ නිසා භක්ෂූන් වහන්සේලා අතර නායකත්වය  සම්බන්ධයෙන් ගැටුම් ඇතිවී තිබේ.භික්ෂූන් වහන්සේලා සිවුරේ බලයට ආවරණය වෙමින් දැඩි සටන්කාමී ජවයකින් කඩාවැදීමට සූදානම් වන බව පෙන්නුම් කර තිබේ. දැනට ඔවුන් වටා සිටින්නේ සුළු පිරිසක් වුව ද එය වේගයෙන් වර්ධනය විය හැකි බලවේගයකි.
ඒ බලවේගය වර්ධනය කරගනිමින් රතන හිමියෝ වැනි භික්ෂූන් වහන්සේලා දැන් සූදානම් වන්නේ 2025 ජනාධිපතිවරණ අපේක්ෂකයා හදන්නටය. ඒ සදහා මේ මන්ත්‍රීකම රතන හිමිටි විශාලා අභාරණයක් මෙන්න ආවරණයක්ද වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කියන්නට දැන්ම කල් වැඩිය. එහෙත් දේශපාලනය දන්නා අගමැති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඉතා ආරක්ෂාකාරීව පෙර පාදයේ ක්‍රීඩාකරති. අනෙක භික්ෂු දේශපාලනය සම්බන්දයෙන් සමාජයේ ඇත්තේ කලකිරීම මුසු කෝපයකි. මේ සියල්ල එකට එක්වූ කල රතන හිමිගේ දේශපාලනය තවදුරටත් මේ රටට වලංගුවේදැය යන්න සැක සහිතය.
මේ අතර පසුගිය මහමැතිවරණයේදී තම පක්ෂයට සාධාරණයක් ඉටුනොවූ බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආණ්ඩුවට එරෙහිව කිහිප විටක්ම රතු එලිදල්වා තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ අතීත ක්‍රියාකාරකම් දෙස බලන විට මේ තර්ජනය කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකියි. මේ සියලුම දේවල් අස්සේ රතන හිමියෝ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්හ.  එබැවින් උන්වහන්සේගේ ඊළග නවාතැන කොතනකදැයි දැන්ම කියන්නට බැරිය.
අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරැම් දුන් දා  ෆේස්බුක් පිටුවක මෙසේ සදහන්ව තිබිණ.
“ඊයේ අතන, අද මෙතන හෙට කොතැන හිමි රතන”
දයා විජේභාහු.


More News
...
Thursday, 21 January 2021 - 12:43

  පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණය ජයගත් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න්...   Read more

...
Wednesday, 20 January 2021 - 15:03

   අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට වැටී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපට දක්ෂ ක්‍රීඩකයන්ගේ...   Read more

...
Monday, 18 January 2021 - 13:14

                 මතකය නිවරදිනම් ඒ 2017 වසර විය යුතුය. ඒ යහපාලන රජය හම්බන්තොට වරාය චීනයට පැවරීමට...   Read more

දවසේ වීඩියෝව