Tuesday, 12 January 2021 - 12:18
බඩු මිල අහසට
...
                        
“සන්ෆලවර් සංගීත කණ්ඩායම කැසට් ගැහුව්වට වැඩි වේගෙන් වෙළඳ ඇමති ගැසට් ගහනව”
මේ පසුගිය දිනෙක කවුදෝ ෆේස් බුක් පිටුවක දමා තිබූ සටහනකි.
කතාව ඇත්තය. මහමැතිවරණයෙන් ජයගෙන ආණ්ඩුව පිහිටුවා මේ ගෙවී යන්නේ හයවැනි මාසයයි. බඩු මිල පාලනයට මේ මාස හයට ගැසූ ගැසට් කන්දරාව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනටවත් මතකදැයි දන්නේ නැත.
කෙසේ නමුත්යළිත් වරක් බඩුමිල අහස උසට නැග තිබේ. පවතින ආර්ථික තත්ත්වය සමග මේ වැඩිවන බඩුමිල ජනතාවට දරා ගැනීම අතිශයින්ම අසීරුය. වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන එක පිට එක ගැසට් ගසමින් බඩුමිල පාලනය කිරීමට දැඩි ප්‍රයත්නයක් දරන්නේ ඒ නිසාය.  පොල් මිල පාලනයට, හාල් මිල පාලනයට, සීනි මිල පාලනයට, ළූණු මිල පාලනයට ආදී වශයෙන් තවත් භාණ්ඩ කිහිපයකම මිල පාලනයට ඔහු එකපිට එක ගැසට් ගැහුවේය. එහෙත් ඒ එක ගැසට්ටුවකින්වත් මහජනයාට ප්‍රථිපලයක් වී ඇති බවක් තවමත් පෙනනේනට නැත.
අද වෙළඳ පොළට ගියවිට වෙළඳුන් එළවළුවල මිල කියන්නේ ග්‍රෑම් 250 ටය. සාමන්‍යයෙන් මාළු මිරිස්, බෝංචි, කැරට්,ළූණු, සීනි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක මිල රුපියල් 80 ට වැඩිය. රතු ළූණු කිලෝවක් රුපියල් 800 කි. සහල් කිලෝවක් මිල රුපියල් 100 ට වැඩිය. රැපියල් සියයට අඩුවෙන් ඇති සහල් බොහෝ විට කන්නට බැරිය. ළදරු ආහාර හා අනෙකුත් දෑවල මිලද එසේමය. මේ මිල ඉහළ යෑමට සාපේක්ෂව ජනතාවගේ වැටුප් වැඩිවී නැත. කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලාය. ඇතැම්විට වැටුප් කප්පාදුවකට ලක්වෙලාය.
ජනතාවට දරාගත නොහැකි ලෙසට බඩුමිල ඉහළ යෑම සම්බන්දයෙන් පසුගියදා පැවැති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද විශාල වශයෙන් කතා බහට ලක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එහිදී යම් පිරිසක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට වක්‍රාකාරයෙන් විරෝධය දක්වා ඇතැයිද වාර්තාවේ.
ඇමති ආචාර්ය බන්දුල තම පීඩනය ‍පිට කළේ ඉකුත්දා පැවැති අයවැය විවාදයේදීයමුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් ඒකාධිකාරියක් සාදාගෙන සිටින බවත් ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යංශ නිළධාරීන් වැඩ කරන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට යැයිද ඔහු පාර්ලිමේන්තුවේදී කීවේය. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාද විමසීම් කර තිබෙන බවද එකල වාර්තා විය.
ඇමති බන්දුල මේ පහර ගසන්නේ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරටය. ජනාධිපති ලේකම් පී.බී අමාත්‍යංශවලට අතපොවන බව මීට ඉහතදීද කිහිප වරක්ම වාර්තාවිය. ජනාධිපති ලේකම් හා ඇමති අතර තිබෙන මේ කඹ ඇදීම නිසා පීඩිවට පත්වන්නේ ජනතාවය. ඒ ගැන ආණ්ඩුව ටිකක් ගැඹුරින් සිතා බැලිය යුතුය.  
ඉහළ යන බඩු මිල පාලනය කිරීමට කිසිඳු උත්සාහයක් නොදරන රජය තම බලය වැඩිකර ගැනීමේ දේශපාලන සෙල්ලමක නිරත වන බවට විපක්ෂය චෝදනා කරයි. ආණ්ඩුව නිකුත් කරන නියෝග හා බඩු මිල පාලනයට නිකුත් කරනු ලබන ගැසට් පත්‍රයන් මේ මහපොළවේ යථාර්තයක් නොවන බවද විපක්ෂයේ කණ්ඩායම් පවසති. වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට සක්‍රීය දායකත්වය සැපයූ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ ඇතුළු මහා සංඝරත්නයද ඒ බව පවසති.
විශේෂයෙන්ම සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකිබවක් පෙනෙන්නට ඇත. පසුගිය රජය යටතේ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බවත් රටට කීවේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසය. කෙටියෙන් කියතොත් ඔවුන් ඍජුවම චොදනා කළේ එවකට ජනාධිපතිවඑයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරාවූ අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේනටය. ඩඩ්ලිගේ සල්ලිවලට පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන් යටවෙලායැයි කීවේ ද ඉහත නම් සදහන් ඇමතිවරුන්මය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකරවාගෙන දේශප්‍රේමී ආණ්ඩුවක් පිහිටුවාගෙන අඩු මිලට කන්නට රටේ මිනිස්සු ජීවත් වූහ.නමුත් අද වෙන්නේ අනෙකකි. සහල් මිල ඉහළ යන ආකාරය දුටුවිට අපිටත් සිත්තෙන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් පසුගිය ආණ්ඩුවේම ලෙඩේ බෝවෙලා තිබෙන බවය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකර ගන්නට පෙරදී නම් ජනපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්වලට ගොස් බඩු මිල ගැන සොයා බැලුවේය.සහල් ඒජන්තවරුන්යැයි හඳුන්වනු ලැබූ ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් ඇතුළු පිරිස් සමඟ සාකච්ඡා කළේය. මිනිස්සු ඒවාට වශීවී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදුන්නේය. ආණ්ඩුව ඒ බල මහිමයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය. දැන් සියල්ල සම්පූර්ණය. ඡන්දයක් පෙනෙන තෙක් මානයකවත් නැති නිසා දැනට ජනතාව අවශ්‍ය නැත.
රටේ අනෙකුත් ප්‍රශ්නවලට වඩා ඉක්මනින් ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳිය යුතුය. ඕනෑම රජයක් බලයට පත්වී පළමු වසර ඇතුළතදී වැටුප් වැඩිකර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ගවල මිල පහළ හෙලා ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරති. නැතහොත් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය එල්ලවේ. එහෙත් කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා වත්මන් රජයට ජනතාවගෙන් එවැනි විරෝධයක් එල්ලවූයේ නැත. එය මේ රජයට ලැබුණ බෝනස් එකකි.ඒ බෝනස් එකෙන් වාසි ලබාගැනීමේ වාසිය රජය සතුය.
ඉකුත් යහපාලන රජයද ජනතාවට සංවේදී නොවී මේ ආකාරයට උඩ පැන්නේය. 2018 පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව එයට පිලිතුරු දුන්නේය. ඒ ප්‍රථිඵලය ලද දා සිටම යහපාලන ආණ්ඩුවේ කෑලි ගැලවෙන්නට පටන් ගත්තේය. එය නතරවුනේ ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයා පරාජය වී වැඩි ඡන්ද ලක්ෂ 13 න් විපක්ෂයේ අපේක්ෂකයා ජයගැනීමෙනි. මෙම වසර ඇතුළතදී බොහෝවිට පළාත් සභා මැතිවරණයත් මෙම වසරේදී පැවැත්වෙනු ඇතැයි අපෙක්ෂා කළ හැකිය. ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම යම් මතවාදයක් ගොඩනැගෙමින් තිබෙන නිසා ආණ්ඩුව කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මක් නිසාද යත් මේ සියළුම පීඩන එකවරම පුපුරා යා හැකි බැවිනි.

දයා විජේභාහු


More News
...
Thursday, 21 January 2021 - 12:43

  පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණය ජයගත් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න්...   Read more

...
Wednesday, 20 January 2021 - 15:03

   අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට වැටී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපට දක්ෂ ක්‍රීඩකයන්ගේ...   Read more

...
Monday, 18 January 2021 - 13:14

                 මතකය නිවරදිනම් ඒ 2017 වසර විය යුතුය. ඒ යහපාලන රජය හම්බන්තොට වරාය චීනයට පැවරීමට...   Read more

දවසේ වීඩියෝව