Wednesday, 13 January 2021 - 9:09
විදුලි සැරයෙන් බොඳවුණු මංගල සිහිනය
...
“අයියාගේ මගුල් උත්සවය හෙට (14දා) පින්නවල හෝටලයක තියන්න සූදානම් කර තිබුණා. 11 වනදා බඳින්න හිටි අක්කාට අවශ්‍ය බඩු මුට්ටු ටිකත් කෑගල්ල නගරයෙන් අරගෙන දීලා එයා පදිංචිව සිටින උඳුගොඩ නේවිස්මියර් නිවෙසට ගිහින් ඇරලවා හවස අයියා ගෙදර ආවා. සවස 6.15ට පමණ කෑම බීම හදන්න අපේ ගෙදරට ඇවිල්ලා හිටිය නැන්දලා, පුංචිලා කියලා තියෙනවා ගේ පිටුපස තාවකාලිකව හදලා තියෙන මඩුවට බල්බ් එකක් දාලා දෙන්න කියලා. තාත්තා තමයි වෙනදා බල්බ් දාන්නේ. පස්සේ අයියා කුස්සියේ  තිබුණු බල්බයක් වරයක් එක්කම ගලවාගෙන එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා.  ඒ එක්කම  විදුලි සැර වැදිලා අයියා බිමට වැටිලා තියෙනවා” යැයි හෙට (14) විවාහ මංගල්‍යය යෙදී සිටියදී විදුලි සැර වැදී මියගිය උපාධිධාරියාගේ මරණය පිළිබඳව ඔහුගේ එකම බාල සහෝදරිය වන එම්.පී. ලක්ෂිකා කුමාරසිංහ (අවු.20) තරුණිය හැඬු කඳුලින් පැවසුවාය.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන කෑගල්ල, ඔලගන්කන්ද එම්.පී. ප්‍රදීප් රංජන් කුමාරසිංහ නැමැති 30 හැවිරිදි තරුණයෙකි. මෙම උපාධිධාරියාගේ විවාහ මංගල්‍යය හෙට (14දා) පින්නවල ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සව ශාලාවක පැවැත්වීමට තිබියදී පෙරේදා (11) සවස නිවසේදී බල්බයක් සවි කිරීමට යෑමේදී විදුලි සැරවැදී කෑගල්ල මහ රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

පසුව මියගිය උපාධිධාරියාගේ නිවසට ඊයේ (12දා) පෙරවරුවේ ගිය අවස්ථාවේදී මවුපියන් දේහය භාරගැනීමට කෑගල්ල  මහ රෝහලට ගොස් තිබුණු අතර බාල සහෝදරිය ඇතුළු පවුලේ ඥාතීන් නිවසේ සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියගිය උපාධිධාරියාගේ බාල සහෝදරිය වන ලක්ෂිකා කුමාරසිංහ තරුණිය මෙසේද පැවසුවාය. මගේ පියා එම්.පී.ෂෙල්ටන් කුමාරසිංහ, තාත්තා පෙදරේරු වෘත්තීය කරනවා. අම්මා එම්.දිස්නා රංජනී ගුණසේකර. අම්මා රැකියාවක් කරන්නේ නෑ. මම කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. මට සිටින්නේ මියගිය අයියා විතරයි. එයා කෑගල්ල රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ගිහින් පස්සෙ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් ඉගෙනගන්න කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ පළමු අවස්ථාවේදී ලංකාවෙන්ම 144 ස්ථානය ලබාගෙන විශ්ව විද්‍යාලයට යන්න ආවා. ඒත් අයියා ගියේ නෑ. හොඳ ලකුණක් අරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටම යනවා කියලා දෙවැනි වාරයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ම හයවැනි ස්ථානය ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණා.

විශ්ව විද්‍යාලයේ ඉගෙනු ලබලා උපාධිය අරගෙන ගෙදර ඇවිල්ලා ඉන්නකොට මාස හයකට මාලදිවයිනට ගියා.  ඊට පස්සේ ඇවිල්ලා කොළඹ පුද්ගලික ආයතනයක මියයනකම්ම රැකියාවක් කරමින් සිටියා.

අයියා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ඉන්න කාලේ කෑගල්ලේ අමතර පන්තියකට ආවා ගියා. එතැනදී උඳුගොඩ නේවිස්මියර් ප්‍රදේශයේ අක්කා කෙනෙක් හඳුනාගෙන සිටියා. පස්සේ දෙදෙනාම විශ්ව විද්‍යාලයට ගියා. ඒ අක්කා කැලණිය විශ්ව විද්‍යාලයට ගියා. දැන් ඒ අක්කා උපාධිධාරිණියක්. ඇය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය කාර්යාලයේ රැකියාවක් කරනවා.

පස්සේ දෙපැත්තෙම කැමැත්තෙනන්ම ආශිර්වාද මැද විවාහය ලියාපදිංචි කළා. ඒත් අක්කා අපේ ගෙදරට කැන්දාගෙන ආවේ නෑ. මගුල් ගෙයක් ගන්න ඕනෑ කියලා අයියා කිව්වා. ඊට පස්සේ හෙට (14දා) මගුල් උත්සවය පින්නවල ප්‍රදේශයේ හෝටලයක තියන්න සූදානම් කරලා තිබුණා. දෙවැනි දවස කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක තියන්නයි සූදානම් කරමින් සිටියේ.

අයියා 09දා උදේ කොළඹ ඉඳලා ගෙදර ආවා. 10දා උදේ ගෙවල් ළඟ තියෙන පන්සලටත් දානෙ අරගෙන ගියා. හවස එයාගේ කාමරය සුද්ද පවිත්‍ර කළා. පෙරේදා (11දා) උදේ බඳින්න හිටපු අක්කා කෑගල්ලට ඇවිල්ල තියෙනවා. අයියත් ගෙදරින් ගියා අක්කට මගුල් ගෙදර දවසේ අවහ්‍ය වෙන බඩුමුට්ටු ගන්න කියලා. පස්සේ අක්කාට අවශ්‍ය බඩු අරගෙන අයියා නේව්ස්මියර්වල අක්කාගේ ගෙදරටත් ඇරවලා ආපහු ගෙදර ආවා.

පෙරේදා (11දා) උදේ පාන්දර නැකතට කැවුම් කොකිස් උයන්න තිබුණා. අපේ පුංචිලා නැද්දලා අපේ ගෙදරට ඇවිල්ලා හිටියා. හවස 6.15ට පමණ නැන්දා කෙනෙක් කියලා තියෙනවා පිටුපස හදලා තියෙන මඩුවට බල්බයක් දාලා දෙන්න කියලා.සාමාන්‍යයෙන් අපේ ගෙදරට ඒ ජාති කරන්නේ තාත්තා.

ඒ වෙලාවේ තාත්තා හිටියේ එළියේ වැඩ කරමින්. පස්සේ අයියා කුස්සියේ තිබුණු බල්බයක් වයරය පිටින් මඩු වට දාන්න යනකොට විදුලි සැර වැදිලා බිමට වැටිලා තියෙනවා. එතකොට අයියා කියලා තියෙනවා අම්මේ ගෙයින් විදුලිය විසන්ධි කරන්න කියලා.  පස්සේ අසල්වැසි අය ඇවිල්ලා ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහරෝහලට රැගෙන ගියා. කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු වෛද්‍යවරයා බලලා කිව්වා අයියා මියගිහිල්ලා කියලා. ඊට පස්සේ අම්මයි, තාත්තයි අයියාගේ දේහය භාරගන්න කෑගල්ල රෝහලට ගියා.
මියගිය උපාධිධාරියාගේ මරණ පරීක්ෂණය ඊයේ (12) සවස දහවල් කෑගල්ල නාගරික රෝහලේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්.කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේදී සිදුකෙරිණි. එහිදී විදුලි සැර වම්අතට වැදීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට මරණ පරීක්ෂකවරිය නිගමනය කළා.

දමණුපොළ - චමින්ද ජයලත්


More News
...
Friday, 22 January 2021 - 9:59

තම 14 හැවිරිදි ඥාති දියණිය අපහරණය කළ බාප්පලා වන අයියා මලෝ දෙදෙනෙකු මේ මස 26 වැනි දින දක්වා රිමාන්ඩ්...   Read more

...
Friday, 22 January 2021 - 9:11

15 හැවිරිදි දැරියක් ලවා ඇයගේ මවුපියන්ට ආහාර සමග මිශ්‍ර කර නිදි පෙති ලබාදී අවස්ථා ගණනාවකදී එම දැරිය...   Read more

...
Thursday, 21 January 2021 - 17:08

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම්...   Read more

දවසේ වීඩියෝව