Wednesday, 13 January 2021 - 12:40
69 ලක්ෂයටත් දැනුණ තීන්දුව
...

 

 

 

                 

සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු, රන්ජන් රාමනායක වන්නේ සෝමරත්න රාමනායකගේ “ජය කොතැනද” චිත්‍රපටයේ රඟපෑමෙන් නිසාවෙනි. ඔහු රාමනායක නාමය තම නමට එක්කර ගත්තේ “ජය කොතනද” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලබාදුන් සෝමරත්න රාමනායකට ගරුකිරීමක් වශයෙනි.
රන්ජන් රාමනායක වත්මන් සිංහල සිනමාවේ සුපර්ස්ටාර්ය. 2007 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩවම ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබුවේය. එතනට එන්නට ඔහු අප්‍රමාන කට්ටක් කෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පසු කලෙක දේශපාලනයට ප්‍රවිශ්ඨ විය.  රන්ජන්‍ට දේශපාලනයට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නොවීය. සිංහල සිනමාවේ සදාකාලික සිහින කුමරා වූ මානව හිතවාදී නළු විජය කුමාරතුංග රන්ජන්ගේ මාමාය. හිටපු විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නැන්දාය. ප්‍රවීණ නළුවකු මෙන්ම දේශපාලනඥයකුද වූ ජීවන් කුමාරතුංග ඥාති සහෝදරයාය. ඒ නිසා දේශපාලනය රන්ජන්ගේ ලේවලම තිබිණ.
ඔහු දේශපාලනික වශයෙන් තෝරාගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. වාමාංශික දේශපාලන පසුබිමක් ඇති රන්ජන් ධනවාදී එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ ඇයිදැයි කියන්නට අප දන්නේ නැත. අභියෝග භාර ගන්නට හැමදාම කැමති රන්ජන් එක්සත් ජාතික පක්ෂයෙන් සබරගමුව පළාත් සභාවට තරග කරන්නේද පක්ෂය දැඩි අභියෝගයකට මුහුණදුන් අවස්ථාවකය. සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධූරයට තෝරාගෙන සිටි අපෙක්ෂකයා හදිසියේම ඉන් ඉවත්විය. අපෙක්ෂකයකු නොමැතිව නන්නත්තාරව සිටි එක්සත් ජාතික පක්ෂයේ පිහිටට ඒ වෙලාවේ ආවේ ගම්පහ උපන් රන්ජන්ය.සබරගමුවට ආගන්තුක රන්ජන් වැඩිම මනාපයෙන් සබරගමුව පළාත් සභාවට තේරීපත්වී එහි විපක්ෂනායක තනතුරට පත්විය. පසුව රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය. එය වෙනම කතාවකි. අද කතාව රන්ජන් රාමනායක නම් නළුවා ගැන නොව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී වසර හතරකට සිරගතවූ රන්ජන් රමනායකනම් දේශපාලනඥයා ගැනය.
පසුගිය වසර කිහිපය පුරාම රන්ජන් රාමනායක මෙරට ආන්දෝලනාත්මක චරිතයකි. රන්ජන්ද සිය මාමාවූ විජය කුමාරතුංග මෙන් අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් කරන්නෙකි. හොරුන්, මංකොල්ලකරුවන් රන්ජන්ට පෙන්න බැරිය. සැමදා තිත්ත ඇත්ත කතාකළ රන්ජන් කිවයුත්ත අදාළ තැනැත්තාගේ මුහුණටම කිව්වේය. රන්ජන් සිරගත වන්නේ එැවැනි ප්‍රකාශයක ප්‍රතිඵලයක් වශයෙනි.
2017 වසරේ අගෝස්තු මස 21 වැනි දා අරලියගහ මන්දිරයේ දී එකල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළේය. මගේ මතකය නිවරදිනම් එවකට අදිකරණ අමාත්‍යවරයා වූ ඩී.එම් ස්වාමිනාදන් මහතාද එම අවස්ථාවට සහභාගි විය.එම ප්‍රකාශය කොයිතරම් දුරකට සත්‍යයද අසත්‍යයද යන්න රන්ජන්ට සිරදඩුවම් නියම කළ නීතීඥවරුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇත.එතනදී ඔහු තම සීමාව ඉක්මවා ගියේය. එහෙත් එය වරදක් බව රන්ජන් පිළිගන්නේ නැත.බලයට හා ධනයට මුවාවී සුචරිතවාදීන් කරන සමාජ විරෝධී ක්‍රියා ඔහු හෙළිකළේ ඒ නිසාවෙනි. අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බධයෙන් පැවරූ නඩුවට පෙනී සිටීමට රන්ජන් අධිකරණයට යන්නේ තම මාමාවූ මහාචාර්ය කාලේ ෆොන්සේකා සමගය. තමන්ගේ බෑණාවන රන්ජන් කිසිදා බොරුකියන්නේ නැතැයි මහාචාර්ය කාලෝ එදා මාධ්‍යයට කීවා අපට මතකය. එහි යටි අරුතනම් මහාචාර්ය කාලෝද රන්ජන්ගේ ප්‍රකාශය සනාත කරන බවයි. වාමංශිකයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා කවදාවත් රන්ජන්ගේ දේශපාලන මතවාදයන් අනුමත කළේ නැත.
2015 වසරේ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යහපාලන රජය බලයට පත්වූයේ හොරු අල්ලා, සුඛිත මුදිත දේශයක් බිහිකරන්නටය. එහෙත් හිටපු ජනාධිපතිවරයාත්, හිටපු අගමැතිවරයාත් තම තමන්ගේ පුගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නවා මිස ජනතා පොරොන්දු ඉටු නොකරන බව දැනගත් රන්ජන් හොරු අල්ලන වැඩේ තමාම කරන්නට සිතා ගත්තේය. විවිධ මැති ඇමතිවරුන්ට, ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ට, නීතීඥවරුන්ට, පොලිස් නිළධාරීන්ට මෙන්ම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රජයේ උසස් නිළධාරීන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඔහු තමන්ට අවශ්‍ය විස්තර ලබාගත්තේය. එපමණක් නෙව එම දුරකතන ඇමතුම් පටිගත කළේය. එම දුරකතන ඇමතුම් සමාජ මාධ්‍යයේ සංසරණය වීම නිසා සද්ගුණවත් උවැසි උවැසියන් බොහෝ පිරිසකගේ පිරුවට ගැලවිණ. තමන්ට ගැළවීමක් නැති බව දත් ඔවුහු රන්ජන්ව සිරගත කරන්නට දතකෑවාය.
දූෂිතයකු නොවන රන්ජන් දූෂිතයකු කරන්නටත්, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පිල්ලෙයාන් නිදහස් කරගන්නටත් සළුපට ගැලවුණ උවැසි උවැසියන් පෙරමඟ ගන්නේ එබැවිනි. අද ඔවුන්ගේ පොරොන්දු ඉටුවී ඇත. රන්ජන් සිරගෙට නියම වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්දයෙන් චෝදනා එල්ලවූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් සියළුම චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන්නට අධිකරණය කටයුතු කළේය.
ඔවුන්ට අවශ්‍ය දෙය සිදුව ඇත.නීතිය කුමක් කීවත් සමාජය එයට වරදක් නොකියන්නේ එබැවිනි. මක් නිසාද යත් නීතියට පක්ෂ සෑම දෙයම හෘදසාක්ෂියට වළංගු නොවන බැවිනි. රන්ජන් රාමනායකගේ වන්ෂොට් පන්නයේ දේශපාලන ක්‍රියාකාරකම්වලට කැමැත්ත නොදක්වන් පිරිස පවා ඇත්ත කතාකරන්නෙකු වශයෙන් රන්ජන්ට කැමැත්තක් දක්වති. රන්ජන්ගේ මෙම සිරගතවීම සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජය කැමැත්තක් නොදක්වන්නේ එබැවිනි. කවුරුන් කෙසේ කීවද රන්ජන් සමාජයට වීරයෙකි.
පිල්ලෙයාන්ට නිදහස් ලබාදෙන්නෙත් රන්ජන් රාමනායක සිරගෙට නියම කරන්නෙත් එකම අධිකරණයයි. රන්ජන් රාමනායකට නියමවූ දඩුවම දෙස සමාජය බලන්නේ පිල්ලෙයාන්ට ලැබුණු  තීන්දුවට සාපේක්ෂවය. ඇත්ත හෝ බොරුවේවා මේ නඩු තීන්දු දෙකම පිටුපස දේශපාලන හස්තයක් වැඩකරන බවට සමාජය කියන්නේ එබැවිනි. රන්ජන් සුදු කරන්නට අපිට අවශ්‍ය නැත. වර්තමානයේදී රටේ සිදුවන් දේවල් දිහා බලනවිට රන්ජන්ගේ වරද ප්‍රමුඛතම වරදක් ලෙස සැළකිය නොහැකිය. මක්නිසාද යත් සාධාරණය ඉටුනොවන තැන මිනිස්සු නීතිය අතට ගනිති. එය සාමාන්‍ය දෙයකි. යහපාලන පොරොන්දු ඉටු නොවන තැන රන්ජන්ද නීතිය අතට ගෙන කටයුතු කළේය. කෙටියෙන් කියතොත් මේ රන්ජන් ගෙවන්නේ යහපාලනය ජනතා පොරොන්දු ඉටු නොකිරීමේ පාපයයි.යහපාලනය නිවරදිව තමන්ගේ පොරෙන්දු ඉටුකළානම් අද රන්ජන්ට මෙහෙම වන්නේ නැත.
හොරු හොරු එකට එක්වූ කළ නිවරදි පාලනයක් බළාපොරොත්තු විය නොහැකිය. කවුරු බලයට ආවත් හොරු අල්ලන්නේ නැතැයි රන්ජන් හැමදාම කීවේ ඒ නිසාවෙනි. තිත්ත ඇත්ත ඒකය. රන්ජන්ට දඩුවම් නියම කළ අධිකරණයද එය නොදැන සිටින්නට බැරිය.
රන්ජන් රාමනායක සිනමාවේ වීරයෙකි. ඔහු සමාජයේ වීරයකු වන්නේ මේ සිරගතවීමත් සමගය. ඔහු හිරේට යන්නේ හොරකරමට වරදකරුවීමෙන් නොව හොරු අල්ලන්ට ගොසිනි. ජනපති සමාව නොලදහොත් රන්ජන් නැවත නිදහස ලබන්නේ 2024 වසරේදීය. එම වසරේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වේ. රන්ජන්ගේ නිදහස්වීම ඒ ජනාධිපතිවරණයට තීරණාත්මකව බලපානු ඇතැයි අනුමාන කළ හැක.
ඒ ගැන කතා කරන්නට දැන්ම කල් වැඩිය. එතෙක් අපි ඉදිරිය දෙස බලා සිටිමු.


දයා විජේභාහු

 

 

 

 

 

 

 

   

 

 



More News
...
Thursday, 21 January 2021 - 12:43

  පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණය ජයගත් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න්...   Read more

...
Wednesday, 20 January 2021 - 15:03

   අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට වැටී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපට දක්ෂ ක්‍රීඩකයන්ගේ...   Read more

...
Monday, 18 January 2021 - 13:14

                 මතකය නිවරදිනම් ඒ 2017 වසර විය යුතුය. ඒ යහපාලන රජය හම්බන්තොට වරාය චීනයට පැවරීමට...   Read more

දවසේ වීඩියෝව