Wednesday, 13 January 2021 - 20:54
රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට වෙන දේ
...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

නමුත් ඊට ප්‍රති විරුද්ධ මතයක්ද මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා.

ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ඒමට හැකියාවක් නොමැති බවද ජනාධිපති සමාවක් ලදහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කල හැකි බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දෙන්වා.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඩුවම අවසන් වන දින සිට තවත් වසර 7 ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇති.

මේ හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාට හිමිවීමට ඉඩ ඇති බව සඳහන්.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ රන්ජන් රාමනායක මහතා මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර මාන්නප්පෙරුම මහතාට මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවුණා.

සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිමිවූ ආසන ගණන 04 ක්.


සරත් ෆොන්සේකා – 110,555
රංජන් රාමනායක – 103,992
හර්ෂණ රාජකරුණා – 73,612
කවින්ද ජයවර්ධන – 52,026

අජිත් මාන්නප්පෙරුම -47212

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අදාළ ක්‍රියාමාර්ග ගන්නා තෙක් අහෝසි නොවන බව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව පක්ෂයක මන්ත්‍රීවරයකු පුරප්පාඩු වූ විට මීළගට ලැයිස්තුවේ සිටින මන්ත්‍රීවරයකු පත්කරන නමුත් අදාළ පක්ෂයට හෝ පක්ෂයේ මහලේකම්වරයාට ඒ සදහා කාර්යභාරයක් පැවරී නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සදහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මගින් මීළග මන්ත්‍රීවරයා නම් කරන බවයි.

රංජන් රාමනායක මහතාට ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතීඥවරුන්ගෙන් උපදෙස් ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් , රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි නොවන බවට නීති තර්කයක් ඉදිරිපත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන තුලින් එය මනාව ඔප්පු කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

මේ පිළිබඳව මත පළ කරන නීති විශේෂඥයන් පවසන්නේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසිවන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම හේතුවෙන් බවයි. ඒ බව ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තියේ සඳහන් වන බවයි ඔවුන් කියන්නේ.

89 (ඈ) වගන්තියේ මෙසේ සදහන් වෙනවා.

යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය: එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.”

එහෙත් නීතිඥයින් අතර මේ ගැන මත දෙකක් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට දිය යුතු දඬුවමට උපරිම හා අවම කාලයක් නීතියේ නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් මෙම වගන්තියට එය අදාළ නොවන බව ඇතැම් නීති විශේෂඥයන් පවසන අතර, තවත් නීති විශාරදයන් පවසන්නේ මෙම තීන්දුවත් සමඟම රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවන බවයි.

මේ අතර ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කලේ කිසිදු අයුරකින් රංජන් රාමනායක මහතා තනි කිරීමට කටයුතු නොකරන බවයි.

නීත්‍යානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී පියවර මගින් රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් අරගල කරන බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

“මම තිත්ත ඇත්ත කතා කළේ. හොරකං කළේ නෑ. පිල්ලෙයාන්ව මේ ආණ්ඩුවෙන් එලියට දැම්මා. මාව ඇතුළට දානවා. මම කුඩු ගංජා විකුණලා නෑ මම සටන දිගටම ගෙනියනවා. සටන නවත්තනේ නැතිව දිගටම ගෙනියමු. මේ දුෂිත ආණ්ඩුව පලවාහරින්න. මම කියපු සියලුම දේවල් ඇත්ත කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නේ නෑ මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියල මංවගේ මිනිහෙක්ව ඇතුලට දානවා. මම සත පහක් හොරකන් කරලා නෑ හම්බවුන පඩි සල්ලිත් ජනතාවට බෙදුවා. මේ හොරකං කරලා කුඩු විකුණලා නෙමෙයි. මම ආණ්ඩුවට කියනවා පිල්ලෙයාන්ව දැම්ම වගේ දුමින්ද සිල්වාවත් එලියට දාන්න. කුඩු කාරයෝ ගැන කිව්වයි කියල මාව ඇතුළට දාන්නේ. අපි බය නෑ මම තනිකඩයා. මැරුණත් බය නෑ. තිත්ත ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නේත් නෑ. කුඩු විකුණලා නෑ, එතනෝල් ගෙනල්ල නෑ, උන් ගැන කිව්වයි කියල මේ ඇතුළට දැම්මේ,” යනුවෙන් රන්ජන් රාමනායක මහතා තමන් අධිකරණ භූමියෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදීත් කියා සිටියා.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ  හිටපු රාජ්‍ය අමාත්‍ය   රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව   මීගමුව  පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ,  නිරෝධායන  මධ්‍යස්ථානය තුළ  වෙනම කාමරයක රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

ඔහුට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති අතර  බන්ධනාගාරයෙන් සැපයෙන ආහාර පමණක් ඔහුට ලබාදෙන බවත් ,අමුත්තන්ට බැලීමට අවසර නොමැති බවත්  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

දින 14 ක කාලයක්  එම මධ්‍යස්ථානයේ රඳවා තබා   අනතුරුව  පී. සී. ආර්. පරීක්ෂණයට  ලක්කිරීමෙන් අනතුරුව  ලැබෙන ප්‍රතිඵල අනුව  ඔහු බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට කටයුතු කරනු ඇති.





More News
...
Friday, 22 January 2021 - 10:03

   අනුරාධපුර,පලාගල මහ හුරුල්ලෑවේ වනජීවි කලාපයක පිහිටි පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත භූමිය පසුගිය...   Read more

...
Friday, 22 January 2021 - 8:37

කටුනායක පිහිටි තම නවාතැන්පලින් පලාගොස් සිටි කොවිඩ් රෝගියා ඊයේ (21) දින කටුනායක 18 කණුව ප්‍රදේශයේදී...   Read more

...
Friday, 22 January 2021 - 7:39

කොවිඩ් ආසාදිතයන් බවට පත් වන සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාමර සියයකින් පමණ වූ හෝටලයක්...   Read more

දවසේ වීඩියෝව