Monday, 18 January 2021 - 13:14
ආණ්ඩු මාරුවේ පුල්ලි මාරු නොවේ
...

 

              

මතකය නිවරදිනම් ඒ 2017 වසර විය යුතුය. ඒ යහපාලන රජය හම්බන්තොට වරාය චීනයට පැවරීමට සූදානම්වන කාලවකවානුවයි. එවකට ඒකාබද්ධ විපක්ෂයයැයි හඳුන්වාගත් වත්මන් ආග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු විපක්ෂ මන්ත්‍රීකණ්ඩායම හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීමට එරෙහිව විහාරමහා දේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේ සමුඵවක් පැවැත්වූහ. එහිදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තම රජයක් යටතේ යහපාලනය විසින් විදේශිකයන්ට පැවරූ රටේ ජාතික සම්පත් නැවත ජාතිය සතු කරන බවය. ඒ ගැන කිසිඳු බියක් තබානොගන්නා ලෙසද ඔහු ජාතියෙන් ඉල්ලීමක් කළේය.
අද කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදෙස් ආයෝජකයකුට පවරාදීමට උත්සාහ දරන්නේ අගමැති මහින්දගේ ආණ්ඩුවමය. ඒ නිසා නැගෙනහිරජැටිය විදෙස් ආයෝජකයකුට පවරාදීමේ උත්සාහය පරාජය කිරීමට අද විපක්ෂයට සහය දෙන්නට ඉදිරිපත්වන්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට දරදිය ඇද්ද පාර්ශවයන්මය. ඒ අතරින් මහා සංඝරත්නය පෙරමුණගෙන සිටී.
ලංකා රජය කියන මේ විදේස් ආයෝජකයා අනෙකකු නොව අසල්වැසි ඉන්දියාවේ ගෞතම් ශාන්තිලාල් අදානිය. වාර්තාවන ආකාරයට ඔහු ඉන්දියාවේ තුන්වැනි බලවත්ව පුරවැසියා මෙන්ම එරට දෙවැනි ප්‍රකෝටිපතියාද වේ. හෙතම ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝදිගේ ගජ මිතුරෙකි. අගමැති මෝදිගේ ඡන්ද ව්‍යාපාරයට මූල්‍යම ආධාර සපයා දුන්නේ අදානිය. ඒ නිසා මෝදි වැඩිදුර පිදේනි දෙන්නේ මේ අදානිටය.
ඉන්දියාව සිටින්නේ කොහොමටත් ලංකාව දෙස ඇසගසාගෙනය. තමන්ගේ ඡාම බේරාගැනීමට මෙන්ම කලාපීය දේශපාලනයේ පොරවීමටනම් ලංකාවේ දේශපාලනය තමන්ට වාසි සහගත ලෙස මෙහෙයවිය යුතු බව ඔවුහු හොදින් දනිති.අපේ නායකයන්ටද ඉන්දීය බලපෑමෙන් මිදෙන්නට බැරිය. කවුරු බලයට ආවත් ඔවුන් ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියකි. ත්‍රීකුණාමල වරාය, සිංහරාජ වනාන්තරය, හම්බන්තොට හා කොළඹ වරායේ වැදගත්ම අපිට වඩා හොදින් ඔවුහු දනිති. ඒ නිසා ඔවුන් නින්දට යන්නෙත්, නැවත පිබිදෙන්නෙත් ලංකාව ගැන සිතමිනි.ඔවුන්ට හීනෙන් පෙනෙන්නේත් මේවාය.
නැගෙනහිර ජැටිය ඉන්දීය ආයෝජකයකුට පවරාදීමට මුලින්ම ගිවිසුම් අත්සන්කළේ ඉකුත් යහපාලන රජය සමයේදීය. ඒ 2019දීය. ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ ප්‍රධාන උපායමාර්ගික වරායක් ලෙස කොළඹ වරායට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.රටකට ආර්ථික උපාය මාර්ග අතින් අති සුවිශේෂිවන මෙවැනි ආර්ථික මර්මස්ථාන විදේශිකයන් අතට පත්වීම අතිශයින්ම අනතුරුදායකවේ.
 කොළඹ වරාය තුළ මෙහෙයුම් සිදු කරන ප්‍රධාන පර්යන්ත 5ක් පිහිටා තිබේ. ජයබහාලු පර්යන්තය, සමගි බහාලු පර්යන්තය, සවුත් ඒෂීයා ගේටවේ ටර්මිනල් හෙවත් SAGT, කලම්බු ඉන්ටර් නැෂනල් කන්ටේනර් ටර්මිනල් හෙවත් CICT සහ නැගෙනහිර පර්යන්තය හෙවත් ECT එම බහලුම් පර්යන්තයන්ය.
SAGT දැනටමත් බහුජාතික සමාගම්වලට වැඩි අයිතියක් හිමි වී ඇති අතර CICT වැඩි අයිතිය චීනය සතුයි. ජයබහාලු පර්යනත්තය වරාය අධිකාරිය සතුවේ. එයට ප්‍රධානතම හේතුවනම් පෞද්ගලික අංශය සමග තරඟ කිරීමට ප්‍රමාණවත් පහසුකම් එම පර්යන්තය සතු නොවීමය. ප්‍රමාණවත් පරිදි පහසුකම් ති‍බුනේනම් ජයබහලු පර්යන්තයේ කතාව මීට වඩා වෙනස්වනු ඇත.
මීටර් 18 ක දිගකින් යුතු නැගෙනහිර පයන්තයට ලොව විශාලතම නෞකා පවා ඉතාම පහසුවෙන් ඇතුල්කිරීමේ හැකියාව පවති. ඒ නිසා මෙම පර්යන්තය ආර්ථිකමය උපායමාර්ග අතින් සුවිශේෂිවේ. ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මෙතරම් උනන්දුවන්නේ ඒ නිසාය.
ප්‍රධාන වරායන් 13 ක් ඇතුළු වරාය 200ක් දැනටමත් ඉන්දියාව සතුවේ. ඔවුන් නැව් සදහා සේවා සැපයීමේදී අධික මිලක් අයකනු ලැබේ. ඒ නිසා වරාය සේවා මගින් ඉන්දියාව පසුගියවසරේදී පමණක්ඉන්දියානු රුපිල් බිලියන 154 ක් උපයා ගෙන තිබේ. නමුත් වරාය අධිකාරිය වරාය සේවා සදහා අයකරනු ලබන්නේ ඉතා අඩු මුදලකි.ඒ නිසා ජාත්‍යන්තර මුහුදේ ගමන්ගන්නා නැව් විශාල සංඛ්‍යාවක් මෙරටට ආකර්ශණය කරගැනීමේ හැකියාව තිබෙන බව වරාය වෘත්තීය සමිති පෙන්වා දෙති.
පසුගිය වසරේ පැවැති මහමැතිවරණයට පෙරද වරාය වෘත්තීය සමිති නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් සූදානම් කළේය. එහිදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් රජය සදහන් කළේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට ඉකුත් රජය අත්සන් කළ ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට තම රජය සූදාන්ම බවය. ඔහු නොකියා කීමේ නැගෙනහිර ජැටිය කිසිලෙසකින්වත් ඉන්දියාවට දෙන්නේ නැති බවය. දැන්ම ඡන්දයක් නැත. ඒ නිසා දේශපානඥයන්ට තමන් දුන් පොරොන්දු මකත නැත. එහෙත් මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන හිතන්නේ පොරොන්දු කඩ නොකරන, මතකය අමතක නොවන දේශප්‍රේමියකු හැටියටය. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සම්බන්දයෙන් මිනිස්සුන්ට දැඩි වේදනාවක් ඇත්තේ ඒ නිසාය.
එහෙත් දේශප්‍රේමී ගෝඨාභය ජනාධිපතිවරයා අසල්වැසි ඉන්දියාවේ තානාපතිවරයා වශයෙන් පත්කර යවන්නේ හිටපු අගමැති රනිල්ගේ දේශපාලන ගෝලයකුවන මිලින්ද මොරගොඩය. ෆෙඩ්ලර් වාදියෙකු මෙන්ම එන්.ජී.ඕ කාරයායැයි ප්‍රසිද්ධවූ මිලින්ස පසුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට එක්විය. 2001 වසරේදී රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික සැළසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා වූ මිලින්ද එම එල්.ටී.ටී.ඊ සංවිධානය සමග අත්සන්කළ සටන්විරාම ගිවිසුම සකස් කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ඇලන්මැතිණියාරාමයේ උදෑසන පිරිත් දේශනාව ප්‍රචාරය කරනවාට විරුද්ධව උසාවි ගිය කෙනෙකි. එැවනි කෙනෙකු බුදුන් උපන් ඉන්දියාවේම තානාපතිවරයකු වශයෙන් පත්කර යැවීම ගැන යළි යළිත් සිතා බැලිය යුතුය. නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ තීරණය සම්බන්දයෙන් මිලින්දට චෝදනා එල්ලවීම අසාධාරණ නොවන්නේ ඒ නිසාය.
වත්මන් දේශප්‍රේමී ආණ්ඩුව බලයට ගේන්නට සක්‍රීය දායකත්වයක් සැපයූ බලවේග අතර මහා සංඝරත්නය ප්‍රමුඛවන බව ඉහත සදහන් කළෙමි. එදා ගෝඨාභය රාජපක්ෂ කඳවුර නියෝජනය කළ ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක වැනි හිමිවරුන් මේ සිද්ධියේදී ඉන්නේ ආණ්ඩු විරෝධී පැත්තේය. නැගෙනහිර ජැටිය ඉන්දියාට දුන්නොත් ආන්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය විය හැකි බවට මහා සංඝරත්නය අනතුරු හගවන්නේ ඒ නිසාය.
යහපාලන ආණ්ඩුවද මේ සෙල්ලම කළේය. රටම විරුධවෙද්දී මංගල සමරවීර, මලික් සමරවික්‍රම තමන්ට රිසි දේවල් කළේය. ඒවායේ ප්‍රතිඵලය ගැන අමුතුවන් කියන්නට දෙයක් නැත. මංගල සමරවීර නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම සම්බන්දයෙන් සතුට පළකරමින් දැනටම නිවේදනයක් නිකුත්කර තිබේ.
මේ රජය බලයට එන්නේ යහපාලන රජය කළ ඒ වැඩ නොකරන්නටය. ඒ නිසා යහපාලන රජය හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ඕන වැනි සිල්ලරකතා කියා ගොඩයන්නට බැරිය. මෙය සංවර්ධනය කළ යුතුමනම් චීනයට, ජපානයට හෝ ඉන්දියාවට දෙන්නට අවශ්‍ය නැත. දේශීය ව්‍යාපාරිකයකයකුට පැවරීමෙන් මෙය සංවර්ධනය කළ හැකිය. ඒ සදහා සුදුසු දේශීය ව්‍යාපාරීකයන් රාශියක් මෙරට සිටී. විදෙස් රටවල් කියන විදියට වැඩකරන්නනම් අපිට ආණ්ඩුවක් අවශ්‍ය නැත. මේ ආණ්ඩුවේ යහපාලන පුල්ලි තිබෙන්නට බැරිය. ඒ පුල්ලි ඉක්මනින්ම මාරු විය යුතුය. හැම ආණ්ඩුවකම සිටි හොල්මන් අවතාර මේ ආණ්ඩුවෙත් සිටී. ඒවා ඉවත්කළ යුතුය.
 
නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ තීරණයට එරෙහිව මහා සංඝරත්නය, වෘත්තීය සමිති සමග තවත් බොහෝ පාර්ශවයන් එකට එකතුවන්නේ ඒ නිසාය. විශේෂයෙන්ම වැලේ වැල් නැතුව ඇඹරෙන විපක්ෂයට ගොඩ යන්නට මෙය මරු චානස් එකකි. පෙර පාදයේ ආරක්ෂාකාරීව ක්‍රීඩා කළහොත් විපක්ෂය ගොඩේ ගොඩය. ඒ බව ආණ්ඩුව නොදැන සිටිය නොහැකිය.
රැල්ල හැරෙන පැත්ත වැල්ල දනී. දේශපාලනයේ වසර පනහක අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ ඒ බව නොදැන සිටින්නට නොහැකිය. එහෙත් ඔහු මේ ගැන ප්‍රසිද්ධියේ කතාකරනවා අපි තවම දැක්කේ නැත. ඒ නිසා ඇඹිටිල්ලන් රාළලා කියන කතා අපිට වැඩක් නැත. කෙසේ වෙතත් ගෝඨා - මහින්ද ආරම්භක පිතිකරු යුගලය ආරක්ෂාකාරීව ක්‍රීඩා නොකළහොත් මේ ආණ්ඩුවටත් වෙන්නේ වැල්ලේම හාන්සි වෙන්නටය.
 
දයා විජේභාහු
 

 

 

 



More News
...
Thursday, 04 March 2021 - 16:26

ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ “ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට...   Read more

...
Sunday, 28 February 2021 - 9:46

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය. ඒ ප්‍රහාරය...   Read more

...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

දවසේ වීඩියෝව