Thursday, 21 January 2021 - 12:43
බයිඩ්න්ගෙන් ඉන්දියානු පරිප්පු කන්න වෙයිද ?
...
 
පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණය ජයගත් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ (20) දිවුරුම් දුන්නේය.

සාමාන්‍ය ජනාධිපතිවරණයකට වඩා මෙවර මැතිවරණය අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගත්තේය. එයට බලපෑ ප්‍රධානතම හේතුවනම් ඇමරිකාවේ පන්ති බලවේගයන් එක්වරම උත්සන්නවීමයි. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලනය කළු ජාතිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ඇතැම් ඇමරිකානුවන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවිය.

කොරෝනා වයිරසයෙන් සමස්ත ලෝකයම බැටකද්දි ඇමරිකා එක්සත් ජනපදය වැඩියෙන් බැට කෑවේ ට්‍රම්ප්ගේ හිතුවක්කාරී ක්‍රියා නිසාය. වෘත්තීය දේශපාලනඥඥයකු නොවූ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය පාලනය කළ පෙර ජනාධිපතිවරුන්ට වඩා අතිශයින්ම සාමකාමී පුද්ගලයකු විය. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ ඔහු ලෝකයේ අනෙකුත් රටවල් තම පාලනයට නතු කර ගැනීමට උත්සාහ නොදැරීය. ඇමරිකා එක්සත් ජනපදයේ සාම්ප්‍රධායික සතුරා වූ කියුබාවට මෙන්ම ලෝකයටම තර්ජනයක් වෙමින් සිටින උතුරු කොරියාවටද ඔහු තම මිත්‍රත්වයේ හස්තය දිගු කළේය.පරිපාලනයේ යම් යම් දුර්වලතාවයන් පැවතියද ඔහුගේ පාලනය සාමකාමී විය.

හිටපු ජනපති ඩොනලඩ් ට්‍රම්ප්ගෙන් පසුව ලෝක බලවතා බවට පත්වූ ජෝ බයිඩ්න්ගෙන් එවැනි සාමකාමී පාලනයක් බළාපොරොත්තු විය නොහැකි බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.  බයිඩ්න් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට පෙර හිටපු ජනාධිපති බැරක් ඔබාමා යටතේ එරට උප ජනාධිපති ධූරය හෙබවීය.ජෝ බයිඩ්න් තම උප ජනාධිපතිවරිය ලෙස පත්කර ගත්තේ දකුණු ආසියානු සම්භවයක් සහිත එම පක්ෂයේම කමලා හැරිස්ය.

ඇමරිකා එක්සත් ජනපදය යනු ආරක්ෂාව වෙනුවෙන් අතිවිශාල ධනස්කන්දයක් වියදම් කරන රටකි.ඇමෙරිකාව තමන් සමඟ මිතුරු නොවන බොහෝ දෙනා තර්ජනයක් ලෙස සලකන අවස්ථා ද ඉතා වැඩි ය. රුසියාවේ ඒකාධිපතිවාදය සහ සයිබර් යුද්ධය, චීනයේ වෙළෙඳ හා තාක්ෂණික යුද්ධය, ඉරානයේ සහ සිරියාවේ  ත්‍රස්තවාදය මෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධ තමන්ට තර්ජනයක් යැයි ඇමෙරිකාව නිරන්තරයෙන් අවධාරණය කරයි. ඉරානයට, චීනයට මෙන්ම රුසියාවට ද නිරන්තරයෙන් සම්බාධක පනවයි. එමෙන්ම කුඩා හා අස්ථාවර යැයි සැලකෙන කියුබාව, වෙනිසියුලාව, සර්බියාව, ලිබියාව පමණක් නොව පැනමාව පවා තමන්ට තර්ජනයක් යැයි ඇමෙරිකාව කියයි.

එක්සත් ජනපදයට අවශ්‍ය ලෝකයේ බලවතා වීමටය. ඉන්දියාවට අවශ්‍ය දකුණු ආසියානු කලාපයේ දේශපාලන හා ආර්ථික බලවතා වීමටය. එක්සත් ජනපදයට මෙන්ම ඉන්දියාවටද ලොකුම තර්ජනය එල්ල වන්නේ චීනය හා රුසියාවෙනි. චීනය මෙන්ම රුසියාවද අපට අතිශයින්ම මිතුරු රටවල් දෙකකි. හම්බන්තොට වරාය දැනටමත් චීනයට බදු දී තිබේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය ආයෝජකයකුට පැවරීමට වත්මන් රජය සූදානම් වේ.

හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බධයෙන් ඉන්දියාව මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයද පසුවන්නේ සිත් නොහොඳිනි. බලයට පත්වීමෙන් අනතුරුව ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා විසින් ඉන්දු පැසිෆික් සාගර කලාපය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව සඳහන් කර තිබේ. ඉන්දු පැසිෆික් කලාපයට අවධානය යොමු කිරීම තුළ එහි සුවිශේෂී ස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාව කෙරෙහි වඩා අවධානයක් යොමු කරන බව ඉතා පැහැදිලිය.

එවැනි පසුබිමක ඔහු තම කාර්ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු දහයක් සදහාම පත්කරගන්නේ ඉන්දීය ජාතිකයන්ය. ලෝක දේශපාලනය කෙරෙහි මේවා කෙසේ බලපාවිදැයි සෙවීමට දේශපාලන විචාරකයෝ දැනටමත් උත්සුකවී සිටිති. එක්සත් ජනපදයේ ප්‍රධාන තනතුරු සදහා ඉන්දීය ජාතිකයන් පත්වීම සම්බන්ධයෙන් ආසායානු කලාපයේ කුඩා රටක්වන අප ගැඹුරින් සිතා බැලිය යුතුය. ආසියානු රටවල් සම්බන්ධයෙන් ඇමරිකානු ආකල්පයන් ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට වෙනස්වන්නේ නැත. එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට කවුරුන් පත්වුවත් ආසියානු රටවල් සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ එකම එක න්‍යාය පත්‍රයකි.එම දේශපාලනික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමේදී ලංකාවට එල්ලවන බලපෑම්  විග්‍රහ කිරීම අසීරුය.

හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව චෝදනා කරමින් අප රටට එරෙහිව ගෙනගිය පීඩාකාරී පාලන ක්‍රමය අපට මතකය. කලින් සදහන් කළ පරිදි දැන් අමරිකාව පාලනය කරන්නේ ඔබාමාගේ හිටපු උපජනාධිපතිවරයායි. ඒ නිසා ඔබාමා විසින් අප රට සම්බන්ධයෙන් ගෙනගිය පීඩාකාරී සම්බන්ධතාවයන් බයිඩන්ගේ පාලන ක්‍රමය තුළ  යළිත් ශක්තිමත් වේයැයි අපට උපකල්පනය කළ හැකිය.එමෙන්ම චීනය නැමැති ප්‍රධාන බල කඳවුර සමග එක්සත් ජනපදය සමග ඇතිකර ගන්නා තරඟකාරීත්වය ලංකාව වැනි කුඩා රටවලට බලපාන ආකාරය විග්‍රහ කිරීමට අසීරු බව දේශපාලන විචාරකයන් සදහන් කරති. ඒ නිසා ලංකාවට ඉතාම පරිස්සමින් යුතුව එක්සත් ජනපදය සමග ගණුදෙණු කිරීමට සිදුවනු ඇත.එමෙන්ම  21 වැනි සියවසේදී රටට ගැළපෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. එවිට යම්තාක් දුරකට හෝ ඇමරිකානු බලපෑම්වලින් මිදිය හැකි බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

හිටපු ජනාධිපති ට්‍රම්ප් එතෙක් පැවති විදේශ ප්‍රතිපත්තිය වෙනසක් කළ අයෙකි.  ඔහුගේ වුවමනාව වී තිබුණේ ඉන්දියාව නම්මා ගැනීමටයි. අවසානයේදී ඔහු එය ඉටුකර ගත්තේය. දේශපාලන විචාරකයන් සදහන් කරන ආකාරයට තම පාලන කාලය තුළ ඔහු ඉටුකරගත් එකම දේශපාලන ජයග්‍රහණය ඉන්දියානු නොබැඳි ප්‍රතිපත්තිය වෙනස් කිරීමයි. මෙය ඉන්දියානු දේශපාලනයේ සිදුවූ විශාල වෙනසකි. ඒ අනුව බලන කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද ඇමරිකානු නිෂ්පාදනයකි. දැන් මෝදි අගමැතිවරයා මුස්ලිම් විරෝධියෙකි. ඔහු නටවන අදිසි හස්තය ඇමරිකාව බවට ලොවට රහසක් නොවේ. එහි අනෙක් හස්තය දිගුවන්නේ ලංකාවටය.

ඉන්දියාව සැමදාම අපේ පාලන ක්‍රමයට ඇගිලි ගැසුවේය.13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට පළාත් සභා ක්‍රමයක් ස්ථාපිත කොට මෙරටතුළ දේශපාලන අස්ථාවර බවක් නිර්මණය කළේය. තම ඉල්ලීමට එකග නොවන තැන ඉන්දියාව අහසින් පරිප්පු දැම්මේය. අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. අද අපිට නටන්නට වන්නේ ඉන්දියාව හා ඇමරිකාව එකාද්ධවී ගසන අලුත් පදයකටය. ඒ වන්නම අලුත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇමරිකානු නිෂ්පාදනයක් බවට විපක්ෂය චෝදනා කරයි. තමන්ගේ ඇමරිකානු පුරවැසි බව ඉවත්කරගත් බවට ඔහු පැවසුවද විපක්ෂය කියන්නේ එය බොරුවක් බවය. කතාව ඇත්තනම් ගෝඨාභය ජනාධිපතිවීමෙන් වැඩියෙන්ම සතුටු වන්නේ ඇමරිකාවය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමරිකන් වාදීන්ය. රනිල්ගේ දේශපාලන ගෝලයකුවූ මිලින්ද අද ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයායි.  දසතින්ම විරෝධය නැගෙද්දි ජනාධිපතිවරයා ඇමරිකන්වාදී මිලින්දව ඉන්දියාවට යවන්නේ ඉන්දීය දේශපාලනික බලපෑම් ඇමරිකානු සම්බන්ධතා මගින් මැඩ පවත්වා ගැනීමටය. එය ඔහු දුරදිග බලා ගත් තීරණයකි.

දකුණු ආසියානු කලාපයේ දේශපාලනික හා ආර්ථික බලවතා වීමට ඉන්දියාව හා චීනය අතර ඇත්තේ සීතල යුද්ධයකි. එය ලොවට රහසක් නොවේ. ඉන්දු- වීන දේශපාලනික හා ආර්ථික යුද්ධයට බයිඩන් ජනාධිපතිවරයා පිදුරු දමනු ඇත. එය අනිවාර්යය. එවිට ඒ යුද්ධයෙන් බැට කන්නට සිදුවන්නේ අපිටය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නත්, නොදුන්නත් එය අපි අනිවාර්යයෙන්ම බළාපොරොත්තු විය යුතු දෙයකි.

ඒ අතරට ඇමරිකන්වාදී රනිල් හා මංගල තම දේශපාලන සබදතාවයන් උපයෝගී කරගනිමින් මෙරට දේශපාලනයේ කුමක් කරන්නේදැයි අනාවැකි කියන්නට බැරිය. දේශපාලනඥයකු නොවන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අභියෝගවලට කෙලෙස මුහුණ දෙන්නේදැයි අපට තව ස්වල්ප කාලයක් බලා සිටින්නට සිදුවනු ඇත.
ජිනීවා මානව හිමිකම් කොමිසම ලබන මාර්තු මාසයේදී රැස්වීමට නියමිතය. ස්වදේශීක දේශ වාතසල්‍යයෙන් ‍මෙරට ප්‍රශ්න විසදුවාට ලෝක ප්‍රශ්න විසදන්න බැරිය. උපාවස කරමින්, උද්ඝෝෂන කරමින් ජාතික අභිමානයෙන් යුතුව ලෝක ප්‍රශ්න විසදන්නට යෑමෙන් සිදුවන්නේ තුවාලය තවත් පාරා ගැනීමක් පමණි. අනතුර දුරතියා හඳුනාගැනීමෙන් සිදුවන අලාභය යම් දුරකට හෝ වළක්වාගත හැකිය.

දයා විජේභාහු
 
 
 


More News
...
Thursday, 04 March 2021 - 16:26

ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ “ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට...   Read more

...
Sunday, 28 February 2021 - 9:46

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය. ඒ ප්‍රහාරය...   Read more

...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

දවසේ වීඩියෝව