Friday, 19 February 2021 - 14:06
ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ
...
 
ගැහැණිය හා පුරුෂයා උපතින් වෙනස් වන්නේ ලිංගයෙන් පමණි. ජීවිතය තුළ ගැහැණු පිරිමි අපි සියළුම දෙනා එකහා සමාන අයිතිවාසිකම් ඇති සමාජීය සක්වයන් පිරිසකි. ගැහැණිය නොමැතිව පිරිමියාටත්, පිරිමියා නොමැතිව ගැහැණියටත් තනිව ජීවත්විය නොහැකිය. සමාජීය පැවැත්ම හෙවත් මානව සම්පත වර්ධනය වන්නේ ගැහැණිය හා පුරුෂයාගේ එක්වීම මතය. “ලෝකය බිහිවී තිබෙන්නේ හිරුගේ රශ්මියෙන් හා මවගේ කිරිවලිනි” යනුවෙන් මැක්සිම් ගෝර්කි කීවේ එබැවිනි. ලෝකයේ පැවැත්මට හිරුගේ රශ්මිය මෙන්ම කාන්තාවද අතිශයින්ම වැදගත්ය.

ලෝකයේ සෞභාග්‍යය රඳා පවතින්නේ දරු පවුල තුළය. ඒ උතුම් කාර්යය හෙවත් දරුවන් වැඳීමේ හැකියාව ඇත්තේ කාන්තාවට පමණි. ඒ නිසා පුරාණ ඉන්දු නිම්න හා මෙහෙන්දජාරෝ ශිෂ්ඨාචාරයන් තුළ කාන්තාව හඳුන්වනු ලැබුවේ සෞභාග්‍යයේ සංඛේතය ලෙසය. කාන්තා යෝනියෙන් ජනිතවල වී කරල් සහිත මැටිපුවරු එම ශිෂ්ඨාචාර ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් වලින් සොයාගෙන තිබේ.මිත්‍යදෟෂ්ඨික බ්‍රාහ්මණ සමාජයට නතුවනතුරුම ඉන්දීය ස්වදේශික ජනතාව කාන්තාවට උපරිමයෙන් ගරුකළ බව ඉතිහාසයේ සඳහන්වේ.

නමුත් බ්‍රාහ්මණයන් විසින් ඉන්දියානු සමාජය ආක්‍රමණය කිරීමත් සමගම කාන්තාව සම්බන්ධයෙන් දුර්මත රාශියක් පැතිරිණ. බ්‍රාහ්මණයන්ට අනුව කාන්තාව යනු අශිෂ්ඨ, පාපිෂ්ඨ තැනැත්තියකි.බ්‍රාහ්මණ දහම ඇතුළත් “මනුස්මෘතිය” නැමැති ග්‍රන්ථයේ කාන්තාව ගැන සඳහන් වන්නේ මෙසේය.

දර්ශණං චිත්ත වෛකල්‍යං -  ස්පර්ශං ධන නාශනං  
   සයනං මරණං කුරියාර්ත්  -   ස්ත්‍රී පත්‍ර්‍යක්ෂ රාක්ෂශි

( ස්ත්‍රිය දැකීමෙන් සිත ව්‍යාකූලවේ, ඇය ආශ්‍රය කිරීමෙන් ධනය විනාශ වේ, කාන්තාව හා නිදා ගැනීමෙන් පුරුෂයා මරණයට පත්වේ. එ නිසා ස්ථීර වශයෙන්ම කාන්තාව රාක්ශියකි)

එමෙන්ම ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් තැනක් හිමිකර ගන්නා ග්‍රීකවරුන් කාන්තාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ලෝක ප්‍රකට ග්‍රීක දර්ශනිකයකු වන සොක්‍රටීස් කාන්තාව පිළිබඳ මෙසේ පවසා ඇත.

“කාන්තාවන් සිටීම ලොව පරිහානියට ප්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමානය. එම ගසේ බාහිර ස්වරූපය අලංකාර වේ. නමුත් එහි ඵලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියැදෙති.”

අසල්වැසි ඉන්දියාවේ හින්දු වැසියන් අතර පවතින “සති පූජාව නැමැති චාරිත්‍රයේදී තම ස්වාමියා මිය ගිය පසු එම මෘත දේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිඳ ද එම ගින්නටම පැන මිය යා යුතුය. එනම් තම ස්වාමියාගෙන් තොර ලෝකයක් පිළිබඳ සිතීමට පවා නොහැකි බවට මෙම චාරිත්‍ර මගින් පෙන්වා දෙයි.

නමුත් බුද්ධ දර්ශනයට අනුව කාන්තාව යනු උතුම් තැනැත්තියකි. වෙනත් කිසිඳු ආගමක නොමැති ආකාරයට බුද්ධ ශාසනය තුළ කාන්තාවට පැවිදි උපසම්පදාවද ලැබුණි. දරුවන් වැදීමේ ආශ්චර්යය දන්නා එකම තැනැත්තිය වශයෙන් කාන්තාවට ගෞරවය ලැබුණි.

බුද්ධ පරිණිර්වාණය සිදුවී මේ ගෙවෙන්නේ 2600 වැනි වසරය. තාක්ෂණික දියුණුවත් සමග දැන් අපේ සමාජය වෙනස් වෙලාය. අන්තර්ජාල භාෂාවෙන් කියන්නේනම් අපි අතිශයින්ම දියුණුවට පත්වෙලාය. නමුත් අපි තවමත් බ්‍රාහ්මණ මත කරපින්නාගෙන යන මානවයින්ම බව වැටහුනේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණු කතාවක් නිසාය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය මෙරට ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් කිරීම වැරදි ලෙස සිදුවූ බවට කරුණු දක්වමින් එය අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසින්  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

සාමාන්‍යයෙන් පොලිස් නිළධාරීන් පෙනී සිටින්නේ සමාජ අයිතිවාසිකම්, මානවහිමිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. නමුත් නිලඇඳුමට යටින් ඔවුන් තුළද සිටින්නේ සාමාන්‍ය පොදු පිරිමියාම බව මෙමගින් පෙන්නුම් කෙරේ. පොලිස් නිළධාරීන් මෙලෙස හැසිරීම ලැජ්ජාවට කරුණකි.

කාන්තා අයිතිවාසිකම් ගැන මෙන්ම කාන්තාවට හිමි සමාජීය තත්ත්වය ගැන නැවත්ත සමාජය කතාකරන්නට පටන්ගත්තේ ඒ නිසාය. මේ කරුණේදී බිම්ශානිගේ පැත්ත ගැනීමට මටනම් කරුණු කාරණා අවශ්‍ය නැත. ඒ නිසා මේ කතා ඇසෙනවිට අපටනම් සිනාසෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත.

ලොව පළමු අගමැතිනිය බිහිවන්නේ ලංකාවෙනි. ඉන් නොනැවතුණ අපි තවත් වරක් විධායක ජනාධිපතිවරියක්ද බිහිකර ගත්හ.ලක්මව ඔලිම්පික් පදක්කමකින් සැරසුවේද කාන්තාවකි. මේ සියල්ලන්ටම වඩා අපි පමණක් නොවමුළු මහත් ලෝකයම ගරුකර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණක් නොව දළදා වහන්සේද වැඩමවාගෙන පැමිණියේ කාන්තාවන් දෙදෙනෙකි.

හාස්‍යට කරුණනම් දළදා මාළිගාවේ පත්තිරිප්පුවටත්, ජය ශ්‍රී මහ බෝරඳුන් වැඩ සිටින උඩමළුවටත් කාන්තාවකට යන්නට බැරිය. ඒ සියළුම තැන් පුරුෂ අපි අයිතිකරගෙනය. ගෙදර බුදුන් අම්මා යැයි දේශනාකරමින් කාන්තාවට ගෞරවය ලබාදෙන භික්ෂූන් වහන්සේලාවත් මේ බහුබූත නීති වෙනස් කරන්නට උත්සාහ ගන්නේ නැත බුදු හාමුදුරුවන් අද වැඩ සිටියානම් බුද්ධ ශාසනයේ මේ විපරීත කතා අසා “අනේ... අපොයි ” කියනු ඇත.

ලෝකය කොතරම් දියුණු වුනත් පෙරදිග අපි සිටින්නේ තවමත් පහත් මානසිකත්වයකය. මේ දියුණු අන්තර්ජාල යුගයේදීත් සුදු රෙද්දෙන් ලේලියගේ පිරිසිදුකම මනින නැන්දම්මලාද නැතුවාම නොවේ. කාන්තාවගේ පිරිසිඳුකම මනින නැන්දම්මලා කවදාවත් තම පිරිමි දරුවගේ පිරිසිඳුකම මනින්නේ නැත. ඒ අතරට දෑවැද්ද සමඟ විවාහ යෝජනා සොයන පිරිමින්ද අපි අතර අනන්ත අප්‍රමාණය.

මේවා හුදෙක්ම සම්ප්‍රධායිකවම එන මතවාදයන් හා ආගමික මතිමතාන්තර නිසා සිදුවන දේවල් නොවේ. සැමවිටම තමන්ගේ වාසිය ගැනම හොය පුරුෂයන් වන අප විසින් සමාජ සමානාත්මතාවය කාන්තාවන්ට ලබානොදීමට ඇති අකමැත්ත නිසාම සිදුවන දේවල්වල ප්‍රතිඵලයන්වේ.

කාන්තාව යනු සමාජය තුළ සිටිනු ලබන සුවිශේෂිම හා සුන්දරතම සම්පතකි. ඉතා ඈත අතීතයේ සිටම වර්තමානය දක්වාම කවීන්, සිත්තරුන් හා සිනමාවේදීන් ආදී වූ කලාකරුවන්ගේ බොහෝ නිර්මාණවලට අවශ්‍ය සොඳුරු පෙර නිමිත්ත වූයේ කාන්තාවයි. එනමුදු අතීතයේ දී කාන්තාවගේ සොඳුරු බව බොහෝ විට කලාවට පදනම් වුවද ඇයගේ යථාර්ථය කඳුලක් වූ බව නොරහසකි.

දසමසක් දරු ගැබක් කුස දරා ලෝකය සුවපත් කළ කාන්තාවට තමාට හිමි නිසි තැන ලබාගැනීමට පුරුෂයන් සමඟ සටන් කිරීමට සිදුවී අතිශයින්ම ඛෙදඡනකය. ඉරණම් තිස් දෙකම කැබුණු පසු පට දැනෙන වේදනාව හා සමාන වේදනාවක් දරු ප්‍රසූතියකදී කාන්තාව දරා ගනු ලබනවා. එවන් දරුණු පීඩාව දරු ප‍්‍රසූතියකදී දැනෙන වේදනාව දරා ගැනීමට සමත් ඇයට සමාජයේ පීඩාකාරී තත්ත්වය අබමල් රේණුවක් ලෙසින් හෝ නොදැනෙනු ඇත.

සොබාදහම විසින් අපවනිර්මාණය කරද්දි අපි සියළුම දෙනාට සුවිශේෂි වටිනාකමක් උපතින්ම උරුමකර දී ඇත. එය කිසිවිටකත් කිසිවෙකුටත් දෙවැනි වන්නේ නැත. ඒ සුවිශේෂිකම සමඟ ගැටීමට යැමෙන් සිදුවන්නේ ගැටීමට ලක්වන තැනැත්තාගේ වටිනාකම තවත් වැඩිවීමය. ඒ නිසාබිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ වටිනකමද  තවත් වැඩියෙන් අපිට දැනෙනු ඇත.

සමස්තයක් වශයෙන් ගත්කළ පවුලතුල කාන්තාව සිදුකරන මෙහෙයට වැටුපක් ගෙවීමට නොහැකිය. එය ඉල්ලීම්නැත, වැටුප් නැති නොනිමි සේවයකි. උදෑසන පිබිදුන මොහොතේ සිට රාත්‍රියේ නින්දට යනතුරු කාන්තාව අපි වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කරයි. පුරුෂ අපි කාන්තාවගේ ලැම දෙස බලා සතුටුවන අතර ඇයගේ ළය දෙස නොබලයි. ඒ නිසා කාන්තාව අපිට හැමදාම කෙළි බඩුවකි. දැන් ඒ සම්ප්‍රධායික රාමුවෙන් එළියට පැමිණීමට කාලය එළඹ ඇත.
 
දයා විජේභාහු


More News
...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

...
Wednesday, 24 February 2021 - 13:13

            කොමිෂන් සභා පිහිටිවීම සම්බන්ධයෙන් ලංකාව දේශපාලන ලෝකයේ වාර්තා පිට වාර්තා පිහිටුවා...   Read more

...
Tuesday, 23 February 2021 - 13:57

මෙරට පැවැති තිස් අවුරුදු යුද්ධය නිමවීමත් සමඟම නිදහසේ හුස්මක් හෙලන්නට අපට අවස්ථාවක් ලැබුනෙ නැත....   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...