Sunday, 21 February 2021 - 14:31
රතන හාමුදුරුවෝ සිවුවැනි සිල්පදය කඩති
...


ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙළට රජය සූදානම් වූයේ පසුගිය වසරේ දෙසැමබර් මාසයේ සිටයි. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික සහයෝගය දුන්නේය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරුණි. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මාර්ගෝපදේශ යටතේ එන්නත් දීමටය. ලලිත් වීරතුංග එන්නත්කරණයේ සූදානම සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය දී ඇති නිර්දේශවලට අනුව එන්නත දෙන බවයි. ‘‘වෙනත් රටවල වගේ නෙවෙයි අපේ රටේ දේශපාලනඥයින්ට පළමුව එන්නත විද ගන්න පුළුවන්නේ’’ මාධ්‍ය ජනාධිපති උපදේශකවරයාගෙන් විමසූහ. ‘‘වත්මන් ජනාධිපතිතුමා ඉන්නවා නම් එහෙම වෙන්නෙ නැහැ’‘ පිළිතුර විය. ඔහු කිවූ පරිදි මුලින්ම එන්නත දුන්නේ සෞඛ්‍ය සේවයේ හා කොවිඩ් මර්දන කටයුතුවලට පසු දායකත්වය දුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. දේශපාලනඥයින් එම ලැයිස්තුවේ අහලකවත් සිටියේ නැත. මේ අතරේ කතානායක මහින්ද යාපා අබේවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ඉල්ලා සිටියේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත දෙන ලෙසයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට එන්නත දෙන​ ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දුද ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ආරම්භ වූයේ ජනවාරි මස 29දාය. ඉන් සති එකහමාරක් ගත වූ පසු මන්ත්‍රිවරුන්ට අලුත් වරප්‍රසාදයක් ලැබුණේය. තීරුබදු රහිත වාහන අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් අඩු මිලට කෑම බීම නවාතැන් ඇතුළු වරප්‍රසාදවලට අමතරව කාටත් කලින් කොවිඩ් එන්නත ගැනීමේ වරප්‍රසාදය හිමි විය. පළමුව එන්නත ගත් වන සංරක්ෂණ හා වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක තමා එන්නත ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍යයටද දුන්නේය. නාරාහේන්පිට පිහිටි හමුදා රෝහලෙන් සී.බී. රත්නායක එන්නත ගත්තේය. නමුත් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව සකස් කළ එන්නත් ප්‍රමුඛතා ලේඛනයේ අමාත්‍යවරයාගේ නම තිබුණේ නැත. කොටින්ම කියනවා නම් මැති ඇමැතිවරුන්ට කොරෝනා එන්නත දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිතාගෙන සිටියේ නැත. ‘‘අපිත් දැන ගත්තේ මාධ්‍යයෙන්’’ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු වන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ‘‘සති අග අරුණ’’ කළ විමසුමකදී පැවසුවේය. ඒ ශ්‍රී ලංකාවේ හැටිය.

මේ ආකාරයට පේරු රටේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලුවි සුවාරේන්ටන් සහ විදේශ අමාත්‍ය එලිසබෙත් ඇන්ටේටිගේ ලේඛනයෙන් පිට එන්නත ගත්හ. මහජන විරෝධතා උත්සන්න විය. ඔවුන් දෙදෙනා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වූයේ මහජන අදහස අනුමත කරමිනි. ඒ පේරු රටේය. මේ ලංකාවේය. සී.බී. රත්නායක ඇමැතිවරයා එන්නත ගැනීම ගැන විරෝධයක් ආවද ඒ ගැන මැති ඇමැතිවරුන්ට ප්‍රශ්නයක් වූයේ නැත. පසුගිය 16 වැනිදා සිට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දීම ආරම්භ විය. ඒ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලෙනි.

ඉන්දීය රජය විසින් ශ්‍රීලංකාවට දුන් ඇන්කාසෙනිකා එන්නත ලක්ෂ පහ සෞඛ්‍ය හමුදා හා පොලිස් නිලධරීන්ට පළමු මාත්‍රාව ලබා දෙමින් තිබියදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී තීන්දු වූයේ සාමාන්‍ය ජනතාවටද එන්නත දීමටය. එන්නතේ දෙවන මාත්‍රාව මාර්තු මස පළමු සතියේ සිට දීමට මීට පෙර තීන්දු කර තිබුණි. නමුත් නිෂ්පාදන සමාගම ප්‍රකාශ කළ බව පවසමින් දෙවන මාත්‍රාව සති 12කින් දීමට රජය තීන්දු කළහ. එම නිසා ඉතිරි මාත්‍රා ලක්ෂ දෙකහමාරදීම ආරම්භ කරමින් කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවක සේවිකාවන්ටද එන්නත දීම ආරම්භ විය. ඊට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටද එන්නත්දීම ආරම්භ වුවද ඊට ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන්ද ප්‍රතිවිරෝධතා එල්ල විය.

යුද හමුදා රෝහලෙන් එන්නත දීම ආරම්භ කළ පසුගිය 16 වන දින මන්ත්‍රීවරුන් 19 දෙනකු එන්නත ගත්හ. මයන්ත දිසානායක, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, ඉරාන් වික්‍රමරත්න, දිලිප් වෙදආඅරච්චි, මහින්ද අමරවීර, පී. දිගම්බරන්, සුසිල් ප්‍රේමජයන්ත, මොහොමඩ් මුසම්මිල් ඇතුළු මන්ත්‍රීවරුන් 19ක් එන්නත් ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍යයට කීවේය.

සිය වාහනයෙන් යුද හමුදා රෝහලට පැමිණෙන මන්ත්‍රීවරයා හමුදා යතුරුපැදි පෙරටු කර ගනිමින් එන්නත් දෙන ස්ථානයට රැගෙන එන්නේය. ඉන් පසු එන්නත ගන්නා මන්ත්‍රීවරයා හමුදා රෝහලෙන් පිටත්ව යන්නේ මාධ්‍යයට ‘‘වොයිස් කට්’’ එකක්ද දෙමිනි. සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට වරප්‍රසාද ඇත්තේය. ඒ ඔහු හිටපු යුද හමුදාපති වන නිසාය.

‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවල්වලට වෙලා ඉන්න බැහැ. ජනතාව අතරට යන්න ඕනි. ජනතා ප්‍රශ්න විසඳන්න යන්න ඕනි. මන්ත්‍රීවරයකුගෙන් වයිරසය ජනතාවට ඇතුළු වෙන්න පුළුවන්. ජනතාවටත් එන්නත දිය යුතුයි. මන්ත්‍රීවරුන්ට එන්නත දීමේ වරදක් මම නම් දකින්නෙ නැහැ’’ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යුද හමුදා රෝහල ඉදිරිපිටදී කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් නියෝජනය කරන්නේ විමල් වීරවංශ ඇමැතිවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණය. ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කොවිඩ් වැලඳී ආසාධනය වූ බවයි. මේ හේතුව නිසා මන්ත්‍රීලා ඇසුරු කළ 500 දෙනකු විතර නිරෝධායනය කරන්න වුණා. එම නිසා මහජනතාව සමග වැඩිපුර ගැවසෙන මන්ත්‍රීවරුන් එන්නත ගැනීමේ වරදක් නැහැ’’ මන්ත්‍රීවරයා කීවේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායකද පැවසුවේ එවන් අදහසකි. ‘‘අපේ ප්‍රවේශමටත්, ජනතාවගේ ප්‍රවේශමටත් එන්නත ලබාගැනීම හොඳයි’‘ මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාව පැත්තේද සිට ගනිමිනි.

එන්නත දීම ආරම්භ කළ පළමු දිනයේම ‘‘ජනතාවට එන්නත දෙන තුරු තමන් එන්නත නොගන්නා බව කියූ මන්ත්‍රීවරුන් සිටියේ අතළොස්සකි. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ආරම්භ කළ ජනවාරි 29 දා සමාරම්භක උත්සවය පැවැත්වුණේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේය. ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේය. එදින නිලධාරීන් ඇමැතිවරියගෙන් ඉල්ලා සිටියේ එන්නත ගන්නා ලෙසයි. ‘‘නැහැ සෞඛ්‍ය සේවක සේවිකාවන්ට දෙන්න’’ ඇය කාරුණික වූවාය. ඇයද විශේෂඥ වෛද්‍යවරයකි. එසේ ජනතාව පැත්තේ සිට ගනිමින් එන්නත ජනතාවට පළමුව දිය යුතු බවට පළමු වෙඩි මුරය පත්තු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුය. ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ‘‘ජනතාවට දෙන තුරු එන්නත නොගනිමි’’ එහි සඳහන් විය. දෙවන වෙඩි මුරය පත්තු වූයේ සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාරගෙනි.

‘‘මන්ත්‍රී වරප්‍රසාදයක් ලෙස කොරෝනා එන්නත අනවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද එන්නත දෙනවා. මෙය සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු නොකර වරප්‍රසාදයක් ලෙස එක් එක් කණ්ඩායම්වලට ලබාදෙනවා. දේශපාලකයින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද දෙනවා. සාධාරණ නැහැ. මෙම එන්නත ගැනීමට ඇති අවස්ථාව විශේෂ වරප්‍රසාදයක් නොවිය යුතුයි. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන අය, රටේ ආර්ථිකයට දායක වන අයට එන්නත දිය යුතුයි. වරප්‍රසාදිත කණ්ඩායමකට පමණක් එන්නත දීමෙන් ජනතාව අපේක්ෂා කරන සමාජ සාධාරණත්වය ඉටු වන්නේ නැහැ’’ පාර්ලි​මේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර කීවේය.

එම අදහස අනුමත කරමින් ​රෝහිනී කවිරත්න, වැනි මන්ත්‍රීවරියන්ද එන්නත ජනතාවට දෙන තුරු නොගැනීමට තීන්දු කළාය. විපක්ෂයේ හඬට ආණ්ඩු පක්ෂයෙන්ද සහයෝගය ලැබුණි. ‘‘මම තාම එන්නත ගත්තෙ නැහැ. ජනතාවට ප්‍රමුඛස්ථානය දිය යුතුයි. එන්නත පසුව ගන්නවා’’ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය හමුවකදී කීවේය. එවැනිම අදහසක් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකද කීවේය. ඔවුන් කියූ පරිදිම මෙතෙක් එන්නත ගෙන නොමැත.

නමුත් අපේ ජන බල පක්ෂයේ පාර්ලි​මේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි හතරවැනි සිල් පදේ වන ‘‘මුසාවාදා වේරමණී ශික්ඛාපදං සමාදියාමි’’ ප්‍රසිද්ධියේ කඩා දැමුවේ කොවිඩ් එන්නත නිසාය. පසුගිය 14 වැනිදා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මෙසේ වදාළෝය. ‘‘මම නම් කොරෝනාවලට බය නැහැ. එන්නත ගහ ගන්නෙත් නැහැ. දැන් කොවිඩ් 19 තියෙන්නේ. ඊළඟට එන එක අපි දන්නෙ නැහැ. ඒකටත් ගහන්න වෙනවා. එම නිසා මම නම් ගහන්නෙ නැහැ’’ මන්ත්‍රී හාමුදුරුවෝ කියූහ. නමුත් එම පොරොන්දුව කඩ වුණ පොරොන්දුවක් කරමින් අතුරලියේ රතන හාමුදුරුවෝ යුද හමුදා රෝහලෙන් එන්නත ගත් සේක.

එන්නත ගත් මන්ත්‍රීවරුන් අතරින් මාධ්‍යවේදීන් නිසා එන්නත ගත් බව කියන මන්ත්‍රීවරයෙක්ද සිටියේය. ඒ එස්.බී. දිසානායකය.

‘‘මම එන්නත ගත්තෙ මාධ්‍යවේදීන් නිසා. ඔයාලට තියෙන බයට. ළං වෙලා ප්‍රශ්න අහනවනෙ. ජනතාවට දැන් දී ගෙන යනවනේ. ​කොහොමත් මම හැට පැන්න මනුස්සයානේ. පාසල් ගුරුවරුන්ටත් දිය යුතුයි. පාර්ලිමේන්තුවේත් හැට පැන්න මන්ත්‍රීවරු ​ගොඩක් ඉන්නවනේ’’ මන්ත්‍රී එස්.බී. දිසානායක කොක්හඬලා සිනාසෙමින් කීවේය.

එසේ වුවත් මේ ර​ටේ අන්තිම පුරවැසියාට එන්නත දෙනකම් එන්නත නොගන්නා මන්ත්‍රීවරුන්ද සිටිති. සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ එවන් අදහසකි. ‘‘මම නම් එන්නත ගන්නෙ නැහැ. අපි මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරු. තුන්වේලක් හරියට කන්න බැරි ජනතාව ඉන්න රටක එන්නත දෙන විදිහ සාධාරණ නැහැ. මේ රටේ අන්තිම පුරවැසියාට දෙනකම් මම නම් එන්නත ගන්නෙ නැහැ’’ ඔහු සපථ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද එසේමය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ මන්ත්‍රීවරුන් 225ට එන්නත කඩිනමින් දීම සාධාරණ නොවන බවයි. ‘‘එය අසාධාරණයක්. ජනතාවට, සෞඛ්‍ය, ආරක්ෂක, මෙන්ම ජනතාව සමග සමීපව කටයුතු කරන වෙනත් ක්ෂේත්‍රවල අයට එන්නත දිය යුතුයි. අපි නම් සියලු දෙනාටම එන්නත දෙන තුරු ලබා ගන්නෙ නැහැ’’ ඔහු පොරොන්දුවක් දුන්නේය.

කෙසේනමුදු දෙමළ සන්ධාන මන්ත්‍රීවරු හමුදා රෝහලට ගොස් එන්නත ගැනීමට කැමැත්තක් නැත. උතුරේ රෝහල්වලට එන්නත පැමිණි පසු ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පැවසූහ. කෙසේ වෙතත් කතානායක මහින්ද යාපා අබේවර්ධන ද එන්නත ගෙන අවසන්ය. යුද හමුදා රෝහලින් ඔහු එන්නත ගන්නා අවස්ථාව දැක බලා ගන්න ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාද පැමිණ සිටීම විශේෂත්වයක් වයි.

දොස්තර රාජිත සේනාරත්නද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු යුද හමුදා රෝහලට නොගොස් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ගොස් එන්නත ගත්තේ සිය බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්නද සමගිනි. ඒ වෙනම වරප්‍රසාදයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරී ලේඛනය යටතේ ඔවුන්ට එන්නත හිමි විය. ‘‘මම කළුබෝවිල රෝහලෙන් එන්නත ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරපු වෛද්‍යවරුන්ට එන්නත් දුන්නේ එම රෝහලෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබාදීමේ ගැටලුවක් නැහැ. මොකද ​ඇමරිකාවේ කොංග්‍රස් හා සෙනෙට් සභිකයින්ටද එන්නත දී තිබෙනවා. ජනතාව සමග අපි එකට වැඩක රනවා. අපි පරිස්සම් වුණොත් ජනතාවත් ආරක්ෂිතයි. ඉදිරිපෙළ සේවය කරන සෞඛ්‍ය හමුදා පොලිස් නිලධාරීන්ට දෙනවා වගේම ජනතාවටත් දීමට තීරණය කිරීම ඉතා වැදගත්. ගුරුවරුන්ට, පළාත් පාලන නියෝජිතයන්ට, හිටපු පළාත්සභා මන්ත්‍රීවරුන්ටත් එන්නත ලබාදීමට මම යෝජනා කරනවා’’ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කීවේය.

කෙසේ වෙතත් නව කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලොව පුරා බෙදා හැරීම අසාධාරණ හා අසාමාන්‍යතා පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වා දුන්හ. සියලු එන්නත්වලින් සියයට 75ක් බෙදී ගොස් ඇත්තේ රටවල් දහයක් අතරය. එන්නත් එක මාත්‍රාවක් හෝ ලැබී නැති රටවල් 130ක් ලොව පුරා ඇත. එලෙස බලන කල අපේ රට වාසනාවන්තය. එන්නත් ලක්ෂ පහක් හරි ලැබී තිබේ. ‘‘ඇතැම් මන්ත්‍රීවරුන් රුසියාවේ නිෂ්පාදිත එන්නත ලංකාවට ගෙනෙනකම් බලාගෙන ඉන්නවා විද ගන්න’’ පරිසර ඇමැති මහින්ද අමරවීර මැතිසබය නියෝජනය කරන අයගෙ රහසක් මාධ්‍ය හමුවකදී කීවේය. කෙසේ වෙතත් හිටපු මන්ත්‍රී සනත් ජයසූරියද පසුගිය බ්‍රහස්පතින්දා (18දා) එන්නත විද ගන්නා ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කළේය. ඔහු එන්නත ගත්තේ කුමන කාණ්ඩය යටතේදැයි තවම අබිරහසකි. එදින ගාමිණී ලොකුගේ, ගුණපාල රත්න​සේකර, අනුර ප්‍රියදර්ශන යාපා. අනුරාධ ජයරත්න, ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේද එන්නත විද ගත්හ. ‘‘එන්නත ලබා ගන්නා අපේ ආසනයේ සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණා. සෙනඟ හිටියා. ඇත්තටම හිටියේ පණ ගැහි ගැහි. මට හිතන්නෙ මේක හොඳයි. අද මන්ත්‍රීවරු එන්නත ගන්න එක විවේචනය කරනවා. මම නම් හිතන්නේ මෙම රෝගය මර්දනය කරන්න හොඳ එන්නත තමයි. මම නම් ධම්මික පැණිය ගත්තේ නැහැ. මිත්‍යාවට වඩා විද්‍යාව මම අදහනවා’’ එන්නත් ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පැවසුවාය.

‘‘ධම්මික පැණිය’’ ප්‍රචලිත කිරීමට මැති සබයේ ඇත්තෝද ප්‍රමුඛ වූහ. කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පැණි බීම ප්‍රකට කරුණකි. පැණි බී පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වැලඳුණේය. පැණි බී කතානායකවරයා එන්නතේ පිහිට පැතුවේය. එය දෛවයේ සරදමකි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත අනුපිළිවෙළට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබාදීමට නොහැකි බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේය. ‘‘මන්ත්‍රීවරුන් සඳහා එන්නත් ප්‍රමුඛතාවය මත දීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක් වගේ. ජනතාව සමග අනිවාර්යයෙන්ම සේවය කරන ජනමාධ්‍යවේදීන් ගුරුවරුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. දේශපාලනඥයින් සඳහා ප්‍රමුඛතාව දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනිය’’ රවී කුමුදේශ් කීවේය.

එය සත්‍යයක්ද? විමසීමට ඇති එකම පුද්ගලයාද සිටින්නේ ශ්‍රී ලංකාවේය. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල විශේෂ නියෝජිත වි‍ශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරිපෙළ කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ට එන්නත දිය යුතු බවයි. ඉන් පසු වැඩිහිටි පුද්ගලයින්ට දිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා වෙන් කර නැහැ. ඔවුන්ද ගණන් ගන්නේ වැඩිහිටි පුද්ගල කාණ්ඩය යටතේයි. නමුත් ඕනෑම රටකට පුළුවන් එන්නත දෙන පිරිස තීන්දු කරන්න. ආර්ථික වශයෙන් වැදගත් වන අයට දෙන්න පුළුවන්.​ කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය නම් රටක ජනගහනයෙන් සියයට 70කට දුන්නොත් රෝගය පාලනය කරන්න පුළුවන් කියලයි’‘ ඔහු කියා සිටියේය. එය ඇත්තකි. එන්නත ගත් සෞඛ්‍ය සේවකයින්ටද කොවිඩ් වැලඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද පවසයි. ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්කවලින් එවැනි රෝගීන් හමු වී තිබේ. එම නිසා එන්නත ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පස්ස ගැසීම ආරම්භ කර තිබේ. ‘‘එන්නත ගැනීමට මන්ත්‍රීවරුන්ට එන්න කියලා ආරාධනා කරනවා. ජනතාව අතර ගැවසෙන නිසා රෝග වාහකයෙක් වෙන්න පුළුවන්’’ වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පසුගිය බ්‍රහස්පතින්දා (18දා) මන්ත්‍රීවරුන්ට ආරාධනාවක්ද කළේය.

උදයජීව ඒකනායක - සති අග අරුණ




More News
...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

...
Wednesday, 24 February 2021 - 13:13

            කොමිෂන් සභා පිහිටිවීම සම්බන්ධයෙන් ලංකාව දේශපාලන ලෝකයේ වාර්තා පිට වාර්තා පිහිටුවා...   Read more

...
Tuesday, 23 February 2021 - 13:57

මෙරට පැවැති තිස් අවුරුදු යුද්ධය නිමවීමත් සමඟම නිදහසේ හුස්මක් හෙලන්නට අපට අවස්ථාවක් ලැබුනෙ නැත....   Read more

දවසේ වීඩියෝව