Tuesday, 23 February 2021 - 11:15
එන්නත් නිසා ලොව බොහෝ රටවල් සීමාවන් ලිහිල් කරයි
කොරෝනා වයිරසය සදහා ලබාදෙනු ලබන එන්නත්කරණ වැඩසටහන සාර්ථකවීම නිසා කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ලොව පුරා රටවල් පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව මෙතෙක් දැඩි නීති රීති පනවා තිබූ එංගලන්තය සීමාවන් ලිහිල් කරමින් මාර්තු 8 වනදා සිට පාසල් යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
දැනටමත් එක්සත් රාජධානිය තුළ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට එන්නත ලබා දී අවසන්ය.
එන්නත්කරණ වැඩපිළිවෙල හේතුවෙන් රෝහල්ගත්වීම් සහ මරණ අඩුව ඇති බවට ගවේෂණයකින් තහවුරුවීමෙන් අනතුරුව තම රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් තීරණය කර තිබේ. ෆයිසර් එන්නත 95.8%ක් සාර්ථක බව එම ගවේෂණයෙන් තහවුරු වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව අද සිට එරට කඩ සාප්පු, පුස්තකාල සහ කෞතුකාගාර විවෘත කිරීමට අවසර දී ඇති අතර සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ. ඊශ්‍රායලය ලොව මෙතෙක් ඉහළම එන්නත්කරණ වේගයක් වාර්තා කර ඇති රට වෙයි. එහි ජනගහණයෙන් 49%කට එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත. රට තුළ සංචරණ සීමා ලිහිල් කළ ද එරට ගුවන්තොටුපොළ තවත් සති දෙකක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.
.