Tuesday, 23 February 2021 - 13:57
අපි (නො)දන්න මානව හිමිකම්
...
මෙරට පැවැති තිස් අවුරුදු යුද්ධය නිමවීමත් සමඟම නිදහසේ හුස්මක් හෙලන්නට අපට අවස්ථාවක් ලැබුනෙ නැත. යුධ නිමාවත් සමඟම, යුද්ධයේ අවසන් සමයේදී සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනය කරමින් යුද්ධ හමුදාව යුධ අපරාධ සිදුකළ බවට මෙරට සිටින එන්.ජී.ඕ නඩ හා කොටි ඩයස්පෝරාවේ හිතවාදී රාජ්‍යයන් අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට චෝදනා ඉදිරිපත් කළහ.

ඊයේ (23)  ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදීත් ඉකුත් දසවසරේදී මෙන්ම අපට විරුද්ධව මානව හිමිකම් චෝදනා එල්ලකර ඇත. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ අද (23) මෙම සමුළුව ඇමතිමට නියමිත අතර රජය විසින් නම් කරන ලද කමිටුවක් ද අන්තර්ජාලය ඔස්සේ සහභාගිවීමට නියමිතය.

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යන මහත්වරුන් අදාළ කමිටුවට අයත් වේ.

මෙවර ඇති විශේෂත්වයනම් අප රටට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මධ්‍ය කණ්ඩායම සකස් කළ විශේෂ යෝජනාවලියක් ද හෙට භාර දීමට නියමිතව තිබීමය.ඒ කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමට අයිතිය ලබානොදීම සම්බන්ධ චෝදනාවකි.එය මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සුදානම් වන චෝදනා අතර ප්‍රමුඛ වූවකි.

යුද්ධයේ අවසන් සමයේදී යුධ හමුදාව විසින් යුධ අපරාධ සිදුකළබවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව එවකට (2012) මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වූ නවනීදන් පිල්ලේ මානව හිමිකම් මණ්ඩලයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.

කෙසේ වෙතත් යුධ හමුදාව අතින් යුද අපරාධ සිදුවූවාද ? නැද්ද? යන්න හොඳින්ම දන්නේ එවකට යුධ හමුදාපතිවරයා වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය.

මේ ඔහුගේ වචනය.

“ ශ්‍රී ලංකාවේ යුද අපරාධවූ බවට ජාත්‍යන්තරය නඟන චෝදනා ප්‍රතික්ශේප කරනවා. හමුදාවට එල්ල කරන චෝදනා බොහෝමයක් මම ප්‍රතික්ශේප කරනවා. ඕනෑම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. රජය මේ චෝදනා සම්බන්ධයෙන් සත්‍ය හා අපක්ෂපාතී පරීකෂණයක් පවත්වා මේ චෝදනාවලින් හමුදාව බේරාගතයුතුයි. ”
( ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා .2015-9-18)

අප දන්නා අකාරයට යුධහමුදාව යුද අපරාධ සිදුකළේ නැත. එසේ වූවානම් රටම ලේ විලක් කරමින්, තම සොයුරු සොයුරියන් ඇතුළු අහිංසක වැසියන් අමුඅමුවේම ඝාතනය කළ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුප්පිල්ලේ ප්‍රභාකරන්ගේ මවට හා පියාට ස්වකීය ජීවිතයේ අවස් හුස්ම නිදහසේ හෙලන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත. මක් නිසාද යත් යුධ නිමාවෙන් පසුව හමුදා බාරයට පත් ප්‍රභාකරන්‍‍ගේ මව හා පියා මිය යනතුරුම රැක බලාගනිමින් පෝෂණය කළේ අපේ හමුදාවන්මය.

ලෝකයා අපිට මානවහිමිකම් උගන්වන්නට කලින් අපි ලෝකයටම මානවහිමිකම් ගැන කියාදුන් බව ඉතිහාසයේ සදහන් වේ. ඒ ඉතිහාසය රාවණ යුගය දක්වා දිවයයි. කෙටියෙන් හෝ ඒ ඉතිහාස කතා මෙහි සදහන් කිරීම සුදුසුයැයි හැගේ.

මහා බලවත් රාවණ රජු ඉන්දියාවේ රාම කුමරුන්ගෙන් සීතා නැමැති අතිශය රූමත් තරුණිය පැහැරගෙන ආවාය. එහෙත් ඇය රාවණට කැමති නැත. ඇයගේ කැමැත්ත ලැබෙනතුරු ඇයගේ ශරීරයට අත නොතියන බවට රාවණ පොරොන්දු විය. ගැහැණියකගේ අවසරයකින් තොරව ඇයගේ ඇඟට අත නොතිබීමට තරම් ශිෂ්ඨ සම්පන්න පාලකයෝ මෙරට පාලනය කළහ.

එපමණක් නොව අනුරාධපුරයේ රජකළ එළාර රජු සමඟ ඡම්මාන්තර වෛරයෙන් පසුවූ දුටුගැමුණු මහරජු තමන් සමඟ සටන් කොට මියගිය එළාර රජු වෙනුවෙන් සෑයක් තනවා, ඒ අසලින් යන එන සියල්ලන්ම එයට ගරුකළ යුතු බවට නියෝගයක් පැනවූ බව ශිලා ලිපියක සඳහන් වේ. ඉතිහාසයේ සඳහන් ආකාරයට මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබදව මෙරටින් හමුවන ලිඛිත පළමු ලියවිල්ල එයවේ.

ඒ ඉතිහාස කතාවයි. නමුත් අපි හොඳින්ම දන්නා එල්.ටී.ටී.ඊ සංවිධනයේ හා ඔවුන්ගේ යුධ ඉතිහාස කතාව එසේ නොවේ. මරාගෙන මැරෙන ස්වයං ඝාතක සටන් කරුවන් ලෝකයට හඳුන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ සංවිධයයි. පාසල් දරුවන් බලෙන් පැහරගෙනවිත් ගෙලේ සයනයිඩ් කරල් බැඳ ඔවුන්ව යුද්ධයට ඇඳ දැමුවේ  එල්.ටී.ටී.ඊ සංවිධයයි.

නමුත් තවමත් එල්.ටී.ටී.ඊ සංවිධනයේ මතවාදයන් වෙනුවෙන් කඩේ යන අපේ රටේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුවා දරුවන් එසේ නොවේ. ඔවුන් ඉගනගත්තේ පිටරට සුපිරි පාසල්වලය. ඔවුන්ට දෙමළ බැරිය. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය ළමුන් ඉදිරියට දමා යුද්ධ කළාක් මෙන් අද දෙමළ මන්ත්‍රීවරුන් අහිංසක දෙමළ වැසියන් ඉදිරියට දමා දේශපාලනය කරති.

මේ මන්ත්‍රීවරුන්ද මෙරට රැඳී සිටින්නේ පාර්ලිමේන්තු සතියේ පමණි. එ්ත් උතුරට හෝ නැගෙනහිරට යන්නේ නැත. පදිංචිය කොළඹය. අද දෙළඹ උරුමය ගැන කතාකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් ඉගෙන ගත්තේ කොළඹය. රස්සාව කළේ කොළඹය. ඔහුගේ පුතා බැන්දේ ඇමති වාසුදේවගේ දුවය. අනෙක් බොහෝ දෙමළ දේශපාලනඥයන් මෙන්ම සී.වී ත් ආරක්ෂාවට තියාගෙන ඉන්නේ සිංහල පොලිස් නිළධාරීන්ය. මොවුන් කවදාවත් දෙමළ හෝ මුස්ලිම් අරක්ෂක නිළධාරියෙකු තම ආරකෂාවට තියාගන්නේ නැත. ඒ කටින් නොකීවත් සිංහල කම ගැන ඔවුන්ගේ හෘද සාක්ෂිය ගැන දන්නා නිසාය.

එමෙන්ම අද අපිට මානව හිමිකම් ගැන කියාදෙන නවනීදන් පිල්ලේ, මිචෙල් බැච්ලේ ඇතුළු බටහිර ජාතිකයන් මානව හිමිකම් ආරක්ෂා කළ සහ කරන අයුරු ද මෙහිදී කෙටියෙන් හෝ සඳහන් කළ යුතුය.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කළේය. ඒ න්‍යෂ්ඨික අවි පිළිඳ චෝදනාවක් මුල්කරගනිමිනි. වසර ගණනක් යුධ කළද ඉරාකයෙන් න්‍යෂ්ඨික අවි හමුවූයේ නැත. නිසි පාලනයක් නොමැති නිසා අවසානයේදී එරට අරාජික විය. එමෙන්ම කාන්තාරික රටක්වූ ලිබියාව කලාපයේ සෙසු රටවලට අභියෝග කරමින් සංවර්ධනය වෙමින් තිබුණි. ඇමරිකාවට මෙය ඇල්ලුවේ නැත. අභ්‍යන්තර කුමන්ත්‍රණ සිදුකරමින් ලිබියාවද අවුල්කර දැම්මේය. අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩ්න් සැඟව සිටියේ පාකිස්තානයේ ගම්මානයකය. ඇමරිකාව හෙර රහසේම පාකිස්තානයට ඇතුළුවී ඔසාමා ඝාතනය කළේය. නොදන්වා තම ගුවන් සීමාව ආක්‍රමණය කිරීම ගැන පාකිස්තානය ඇමරිකාවට තම අමනාපය පළ කළද වැඩක් වූයේ නැත.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කියුබානු දේශසීමා ආසන්නයේ පවත්වාගෙන යන ගුවන්ටනාමෝ සිරකඳවුර මිහිපිට අපායක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී සිරකරුවන්ට ලිංගික හිංසාවන්ද සිදුවන බව වාර්තාවේ. මේ මොනදේ වුනත් ඇමරිකා එක්සත් ජනපදය තම හමුදාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි. නමුත් ඒ අවස්ථාව ලොව අනෙක් රටවලට නැත.

ඇමරිකාවට කත්අදින අනෙකුත් බටහිර බලවේගවලටත් මේවා පෙනෙන්නේ නැත. අපට චෝදනා කරන එන්.ජී.ඕ සංවිධාන හා ඒ සම්බන්ධිත රටවල් බොහෝමයක් යැපෙන්නෙ ඇමරිකානු ඩොලර් මතය. දැන් ඩොලර්වලින් ඔවුන්ගේ ඇස් වැසිලාය.

තමන්ට අකීකරු රාජ්‍ය නායකයන් හා සිවිල් සමාජයේ බලවත් පුද්ගලයන් ඝාතනය කිරීමට ඇමරිකාව කටයුතු කළහ. කියුබාවේ හිටපු නායක ෆදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමට ඇමරිකාව නොගත් උත්සාහයක් නැත. ලෝකප්‍රකට පොප් ගායක බොබ් මාලේගේ ශරීරයට පිළිකා වයිරසය ඇතළත්කර ඔහු ඝාතනය කළේය. උගන්ඩාවේ ඉඩි අමීන්, නැගෙනහිර අප්‍රිකාවේ බොකාසා වැනි ජනඝාතකයන්ද බිහිවුනේ ඇමරිකාවේ ආශීර්වාදයෙනි. තමන්ට රිසි නොවූතැන ඔවුන්ව බලයෙන් පහ කිරීමටත් ඇමරිකාව කටයුතු කළහ. මේවා කටකතා නොව ලෝක ඉතිහාසයේ ලිඛිතව සදහන් දේවල්ය. ඒ නිසා අනුන්ගේ ඇසේ පොල් කෙන්ද බැලීමට පෙර තමන්ගේ ඇසේ ඇති පොල් පාරාලය දෙස බලන මෙන් මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අපට ඇඟිල්ල දිගුකරන අයට දන්වනු කැමැත්තෙමි.

මෙහිදී තවත් දෙයක් සදහන් කරනු කැමැත්තෙමි. එනම් රජය ජාත්‍යන්තරය අමනාප කර නොගනිමින්, රටට වාසි සහගත ලෙස මෙවරවත් මෙම ප්‍රශ්නය කළමණාකරණකර ගැනීමට කටයුතු කළ යුතුය. වත්මන් රජය රාජ්‍ය තාන්ත්‍රික ගැටළු විසදීමේදී යම් අවිනිශ්චිත බවත් පෙන්නුම් කරන බවක් මා කලින් ලිපියක සදහන් කළෙමි. මෙම ප්‍රශනයට රජයේ පාර්ශවයෙන් පමණක් පිලිතුරු දී වැඩක් නැත. ස්වාධීන නිරීක්ෂක කණ්ඩායම් ද යෙදවීමට රජය කටයුතු කළ යුතුය.

හැගුම්බරව ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න විසඳිය නොහැකිය. අපට ජාත්‍යන්තරය සමඟ ගැටීය නොහැකිය. ඒ නිසා අප නිවටුන් බවට පත් නොවන ආකාරයට මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවද මෙහිලා සදහන් සහන් කරමු.
 
දයා විජේභාහු
 
 
 


More News
...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

...
Wednesday, 24 February 2021 - 13:13

            කොමිෂන් සභා පිහිටිවීම සම්බන්ධයෙන් ලංකාව දේශපාලන ලෝකයේ වාර්තා පිට වාර්තා පිහිටුවා...   Read more

...
Tuesday, 23 February 2021 - 13:01

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින්...   Read more

දවසේ වීඩියෝව