Thursday, 25 February 2021 - 9:48
සහාරන් ගැන තොරතුරු දුන් බුද්ධි අංශ ප්‍රධානියා දංගෙඩියට?
...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට තොරතුරු වාර්තා කල රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට මහතාටද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බැවින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙස කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

කොමිසමේ සාක්ෂි විභාගයේදී හෙළිවූ කරුණුවලට අනුව, හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔහුගේ තනතුරට අදාල සේවා කාලය තුළ (2015-2019) සහරාන් ඇතුළු පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල සැකකරුවන් පිළිබඳව රහස්‍ය වාර්තා 347 ක් අදාල බලධාරීන් වෙත ලිඛිතවම ලබාදී ඇත.

සහාරන් ඇතුළු පිරිස රටම ලේ විලක් බවට පත්කිරීමේ සුදානමක් ඇති බව ඔහු විෂය බාර අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට හා එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට 2018 මැයි මාසයේදී ලබාදී තිබූ බවද කොමිසම හමුවේ අනාවරණය විය.
 
එසේම, මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් 2019 අප්‍රේල් 04 දා තොරතුරු ලැබුණු වහාම ඒ පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කර ඇති අතර තවදුරටත් සොයා බැලීමෙන් පසු ලැබුණු තොරතුරු මත ඒ සියලු තොරතුරු දන්වා අප්‍රේල් 07 දා ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් අවශ්‍ය උපදෙස්ද ඉල්ලා තිබිණ. එසේම, අප්‍රේල් 9 වැනිදා ද ඔහු ආරක්ෂක ලේකම්, පොලිස්පති හා රහස් පොලිසියේ ප්‍රධානියාට ඒ සම්බන්ධයෙන් ඉක්මනිම මැදිහත් වෙන්නයි ඉල්ලා තිබූ බව කොමිසම හමුවේ අනාවරණය විය.

එසේම, අප්‍රේල් මාසයේ කාතන්කුඩියේ බෝම්බයක් පිපුරුණ අවස්ථාවේදී ලද බුද්ධි අංශ තොරතු මත, සහාරන් අද හෙටම මහා විනාශයක් කිරීමේ පෙරහුරුවක් පවත්වා ඇති බව පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වූ බව නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ සඳහන් කළේය.

අන්තවාදී මුස්ලිම් පිරිස් අතර සිටි ඔත්තුකරුවන්ගෙන් දිනපතා ලැබෙන තොරතුරු එතරම් යහපත් නොවූයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා, අප්‍රේල් 20 දා අදාල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දුන් ආකාරය කොමිසම හමුවේ සනාථ අදාල ලියකියවිලි ඉදිරිපත් කර තිබිණ. අප්‍රේල් 20 සවසද ඔහු ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කර තිබු අතර විදේශගතව සිටි ජනාධිපතිවරයාට ඒ පිළිබඳව දැනුම්දීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබිණ.
 
මේ වනවිට පාර්ලිමේන්තුවට ලබාදී ඇති කොමිසම් වාර්තාවේ සිංහල පරිවර්තනයට අනුව, මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව කොමිසම විසින් නිර්දේශ කර ඇති බහුතරයකට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගේ සාක්ෂි පදනම් කරගනිමිනි.
 
කෙසේවුවද පාස්කු ඉරිදා දිනයේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තමන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් කොලඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයාට දිගින් දිගටම චෝදනා එල්ල කර තිබිණ. ඊට ප්‍රතිචාර දක්වමින් නිලන්ත ජයවර්ධන මහතා, කොමිසම හමුවේ සඳහන් කර තිබුනේ අදාල බලධාරීන්ගෙන් පිට කිසිවකුට තොරතුරු ලබාදීමට තමාට බලයක් නොමැති බවයි.
 
සිවිල් රාජකාරියක් පැවරී ඇති රාජ්‍ය බුද්ධි සේවයට කිසිවකු අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැති බවත් කළ හැක්කේ අදාල බලධාරීන් වෙත එම රහස්‍ය තොරතුරු ලබාදීම පමණක් බවත් නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ පැහැදිලි කර තිබිණ.
 
නිලන්ත ජයවර්ධන මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂා කර ගැනීම සඳහා කොමිසම හමුවේ ඇතැම් කරුණු වසන් කළ බවට අගරදගුරු වරයා‍ගෙන් මෙන්ම හිටපු ජනාධිපතිගේ විරුද්ධවාදීන්ගෙන්ද චෝදනා එල්ලවී තිබිණ.

මූලාශ්‍ර - ලංකා නිව්ස් වෙබ් අඩවිය


More News
...
Tuesday, 06 April 2021 - 15:04

  මත්ද්‍රව්‍ය, පාතාලය හා දේශපාලනය යනු එක කුස උපන් නිවුන් සහෝදරයන් බඳුය. බොහෝ දේශපාලනඥයන් හා ඔවුන්ගේ...   Read more

...
Wednesday, 31 March 2021 - 14:07

මහා බ්‍රිතාන්‍ය අතීතයේදී සිය අවි බලයෙන් පෙරදිග හා අපරදිග රටවල් යටත් කර ගත්හ. ඇමරිකා එක්සත් ජනපදය...   Read more

...
Tuesday, 30 March 2021 - 15:31

අලුත් අවුරුදු උත්සව සමය කට ළඟ තිබියදී පොල්තෙල් පිළිබඳ අර්බුදයක් මතුව තිබීම කනගාටුවට කාරණයකි. කොවිඩ්...   Read more

දවසේ වීඩියෝව