Friday, 26 February 2021 - 14:09
පාස්කු වාර්තාව ගැන නිදහස් පක්ෂයෙන් නිවේදනයක්
...

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොමිසම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු ද නොසලකා හැර ඇතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කරනවා.

මෙම ප්‍රහාරය පිටුපස වූ දේශීය හා විදේශීය බලවේග හඳුනාගැනීම, එකී බලවේගවල ප්‍රමුඛ අරමුණු හා ප්‍රාර්ථනා තේරුම් ගැනීම සහ මෙම ප්‍රහාරය සැලසුම්කර ක්‍රියාවට නැංවීම සඳහා සෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ පුද්ගලයින් හෝ කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැමිණවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කිරීමේ මූලික කරුණු අතරවූ බවද එම නිවේදනයේ සදහන් වෙනවා.

එහෙත් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ මොහම්මදු මොහොමදු හස්තූන්ගේ බිරිඳ සාරා නොහොත් පුලස්තිනි රාජේන්ද්‍රන් ඉන්දියාවට පළා යාම පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව කිසිදු අවධානයක් යොමු කර නැති බව ද එම නිවේදනයේ සදහන් වේ.

එමෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර නාමල් කුමාර නැමැත්තෙකු කරළියට පැමිණ කළ ප්‍රකාශ හා ඒ සම්බන්ධයෙන් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රබල මැදිහත් වීම මත මුදා හැරීම ද කොමිසමේ අවධානයට ලක්ව නැතැයි නිවේදනයේ සඳහන් විය.

ජනාධිපතිවරයෙකු ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අවධාරණය කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව පෙන්වා දෙන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව සිය වගකීම් ඉටු කර ඇතැයි වාර්තාවෙන්ම පැහැදිලි වන බවයි.

ඔහුට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩක් නැතැයි ද විධායක සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමස්ත ලංකා විධායක සභාව සඳහන් කර ඇත්තේ, කොමිෂන් සභාව ඔවුන්ට පැවරූ බල සීමාව තුළට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. 

රාජ්‍ය සේවකයින්, නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධිදාමයට සෘජුව හෝ වක්‍රව සබඳතා ඇත්දැයි සොයා වාර්තා කිරීමට කොමිසම නියෝග කර ඇති බව නිවේදනයේ දැක්වේ.

කොමිසමට දුන් බලතල තුළ කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාප ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම් ක්‍රියාත්මක කිරීමට අදාළව හෝ පැහැර හැරීම පිළිබඳව පරීක්ෂා කිරීමට කිසිදු බලයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව පෙන්වා දෙයි.

නැව් මගින් ආයුධ ආනයනය කර ඇති බවට තිබෙන තොරතුරු නොසලකා හැර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කොමිසම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රතිපත්තියක් ලෙස සලකන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව අවධාරණය කර ඇත.

කොමිෂන් සභා වාර්තාව, අදාළ ප්‍රහාරය සැලසුම් කළ අය, බෝම්බකරුවන්ට ප්‍රහාරය සඳහා මුදල් සැපයු අය හා ආරක්ෂාව සැපයූ අ අය පිළිබඳව සැලකිල්ලක් දක්වා නැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව සඳහන් කර තිබේ.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:30

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව