Thursday, 04 March 2021 - 16:26
ඇඩ්‍රස් නැති අපේ කලාව
...
ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ “ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ ගීතය වෙනත් කටයුතු සදහා යොදා ගැනීම පිළිබදව මේ දිනවල කලා ලෝකයේ වැඩියෙන් කතා බවහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

මෙය පැහැදිලිවම නිර්මාණ මං‍කොල්ලයකි. මේ නිර්මාණ මංකොල්ලය සම්බන්දයෙන් චෝදනා ලැබ සිටින්නේ මෙරට සිටින තවත් ජනප්‍රියම කලාකරුවන් දෙදෙනෙකු වන භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන් යන දෙපළය. ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ තේමා ගීතය වූ “ඇඩ්‍රස් නෑ” ගීතතයේ පද රචකයා වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට සහ සංගීතය අධ්‍යක්ෂ්‍යණය කළ ආචාර්ය රෝහණ වීරසිංහයන්ට නොදන්වා වාණිජ කටයුතු වෙනුවෙන් යොදාගත් බවට භාතිය - සංතුෂ් දෙපළට චෝදනා එල්ලවේ.

“නිර්මාණ සොරකම” කලා ලෝකයේ බොහෝ සරුසාරව සිදුවන්නකි. නිර්මාණ කොල්ලය වැළැක්වීම සඳහා බුද්ධිමය දේපළ පනතක් ද තිබේ. එමඟින් නිර්මාණකරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. නිර්මාණ මංකොල්ලයක ඇත්තේ නීතිමය තත්ත්වයකට වඩා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයකි.

නිර්මාණ මංකොල්ලය සම්බන්ධයෙන් කලාලෝකයේ ඇති අතරම් උදාහරණ තිබේ. කලාලෝකය තුළ ඉහළම සම්මානයට පාත්‍රවන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ විවිධ කෘති මුද්‍රණය කර විකිණීම සම්බන්ධයෙන් සහ ප්‍රවීණ සාහිත්‍යවේදී පියසේන කහඳගම ශූරීන්ගේ “ප්‍රදේශීය ව්‍යවහාරය” නැමැති කෘතිය හොරොන් මුද්‍රණය කිරීසම සම්බන්ධයෙන්ද අධිකරණයේ නඩු තවම විභාගවේ.

සුජාතා අලහකෝන් යනු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වු මන්ත්‍රීවරියකි. එමෙන්ම හිටපු විදුහල්පතිනියකි. දැන්නම් ඇය ප්‍රසිද්ධ ප්‍රවීණ සාහිත්‍යවේදිනියක් හැටියටය. 2020 වසරේදී විශිෂ්ඨතම යොවුන් නවකතාව ලෙස ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමිවූයේ ඇය විසින් රචිත “ඒත් අපි පියාඹමු” කෘතියටය. නමුත් එම කෘතියේ බොහෝ සිද්ධීන් ඇය විසින් උපුටාගෙන තිබුනේ ගංගා සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කරන ලද “තැනිතලාවේ පිහිටි කුඩා නගරය” නම් කෘතියෙනි. ඒ බව පාඨකයකු විසින් සොයාගන්නාතුරු සුජාතාට සම්මානය දුන් විනිෂ්චය මණ්ඩලයවත් දැන සිටියේ නැත.

කිසියම් නිර්මාණයක් කිරීම සරළ සිල්ලර කරුණක් නොවේ. නිර්මාණකරුවාට තම නිර්මාණය, තම ලෙයින් උපන් දරුවකු බඳුය. ඇතැම්විට නිර්මාණකරුවා නොකා නොබී අපමණ දුක්ගැහැට විඳ බිහිකරන නිර්මාණයක් හොරකම් කිරීම හඳුන්වාදීමට භාවිතා කළයුතු වචනය කුමක්ද යන්න සදහන් කළ නොහැකිය. එහෙයින් නිර්මාණයේ පරම අයිතිය හිමිවන්නේ නිර්මාණකරුවාටමය.

අනුන්‍ගේ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වාදීම සාදාචාරාත්මකව බැලුවහොත් අවජාතක වැඩකි. නිර්මාණකරුවා යනු සමාජයට මඟ පෙන්වන්නෙකි. ඒ නිසා මෙවැනි සිදීධීන් ඇසෙනවිට අපිට මතක්වන්නේ ඔවාදෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට යන පැරණි උපදේශයයි. ඒ නිසා අනුන්ට උපදෙස් දෙන්නට පෙර තමන් සදාචාරාත්මක විය යුතුය. සදාචාරාත්මක නොවන කිසිවකට මෙලොව පැවැත්මක් නැත‍.

අනෙක් සියල්ලම මෙන්ම අපේ රටේ කලාවටත් ප්‍රතිපත්තියක් නැත. අනෙක් සියල්ලම මෙන්ම කලාකරුවාද දේශපාලනිකව ඉත්තෙක් බවට පත්ව ඇත. ඒ නිසා කලාකරුවන්ට බලපාන පොදු ප්‍රශ්නයකදීවත් ඒ ගැන කතා කරන්නට කලාකරුවන් පෙරට එන්නේ නැත. පසුගිය මැතිවරණ සමයේදී දේශපාලනඥයන් වෙනුවෙන් ගිරිය පුප්පන් බෑඟිරිදුන් කලාකරුවන් අද දක්නට නැත.

කලාකරුවන් ලෙසින් පාර්ලිමේන්තුගිය ගාමිණී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ කලාව වෙනුවෙන් කළ දෙයක් නැත. එමෙන්ම ජනප්‍රිය කලාකරු විජය කුමාරතුංගගේ බිරිඳවූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියවත් කලාව වෙනුවෙන් කිසිවක් කළේ නැත. පාර්ලිමේන්තුවට පත්වූ ඉහත නම් සදහන් කලාකරුවන් ස්වකීය මන්ත්‍රීධූර කාලය තුල තමන්ගේ මඩිය තදකරගත්තා මිස කලාකරුවන් ආරක්ෂාකර ගැනීමට යමක් කලේ නැත.

හොඳම උදාහරණය දැනට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකය. රන්ජන් යනු අපේ සිනමාවේ නූතන රංගන පෞර්ෂයයි. ඔහුගේ දේශපාලනය අපිට අදාළම නැත. ඔහු අසරණ කලාකරුවන්ට උදව්කළ බව පුද්ගලිකව දනිමි. අපට ඔහු අධිකරණයට චෝදනා කිරීම සම්බන්ධයෙන් ඔහු මේ වනවිට සිරගතව සිටී. එකළ රන්ජන් සමඟ එකට සිටි කලාකරුවන්ට මෙකල රන්ජන් මතකවත් නැත. තමන්ගේ වෘත්තීමය සඟයා වෙනුවෙන් පෙනී නොසිටි කලාකරුවන් අමාත්‍ය විමල් වීරවංශ වෙනුවෙන් මාධ්‍යහමු පවත්වනවා අපි දුටිමු. එහෙත් ඔවුන් සුදර්ශිය බේරාගැනීමේ සටනට එක්වන්නේ නැත. ඒවා ඔවුන්ට ඇහෙන්නේද නැත. අද කලාකරුවන් නැත. සිටින්නේ කලා වෙළෙන්ඳන්ය.

භාතිය - සංතුෂ් යනු කලාවේ සිටින නූතන වෙළෙන්ඳන්ය. ඔවුන් කලාලොවට පැමිණි මුල්වකවානුවේදී පැරණි නූර්ති ගීතයක් වූ “සිරි ස බොදි මලි ගවෙදිනැමැති ගීතය නව සංගීතය මුසුකොට ගායනා කළේය. ආචාර්ය රෝහණ වීරසිංහයන් සඳහන් කරන ආකාරයට එම ගීතය ඇසූ ප්‍රවීණ ගායන ශිල්පී` සංගීත විශාරද වික්ටර් රත්නායකයන් බෙහෙවින් උරණව දොස් පවරා ඇත. එදා භාතිය - සංතුෂ් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ඇතුළු පිරිසකි. එදා රෝහණයන් ඇතුළු පිරිස භාතිය - සංතුෂ් දෙපළ හැඳින්වූයේ නූතන සංගීතයේ පෙරගමන් කරුවන් ලෙසය. එදා තමන් වෙනුවෙන් පෙනිසිටි ආචාර්ය රෝහණ වීරසිංහයන්ටම භාතිය - සංතුෂ් මෙවැනි වැඩක් කිරී‍ම අතීත ගුත්තිල- මූසිල කතාව වර්තමානයේ සිහිකැඳවන්නකි.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි වැනි මහා ඝාන්ධර්වයන්ගෙන් බළාපොරොත්තුවූ ජනතාවාදී සුපැහැදිලි කලාව භාතිය - සංතුෂ් වැනි වෙළෙන්ඳන්ගෙන බළාපොරොත්තුවිය නොහැකිය. ඔවුන්ගේ ඔළුයේ ඇත්තේ මුදල් මිස කලාව නොවේ. තමන්ගේ මඩිය තරකරගැනීම හැරුණුවිට වෙනත් අරමුණක් ඔවුන්ට නැත.

කලාකරුවන්ට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. අද වයෝවෘද්ධ කලාකරුවන් ජීවත්වන්නේ බොහොම අමාරුවෙනි. ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වන සැනට් දික්කුඹුර අද ජීවත්වන්නේ අන්ත අසරණයකු ලෙසය. තවත් ජනප්‍රිය රංගන ශිල්පියකු පිළිකා රෝගයෙන්‍ පෙළුන අතර තමන්ට රංගන කේෂ්ත්‍රයේ වැඩ නැතිවේයයැ යන බියෙන් ඔහු තම රෝගය සඟවාගෙන ජීවත්විය. මෙරට කලාකරුවන්ගෙන් බහුතරයකගේ ඉරණම එපරිදිය. බොහෝ කලාකරුවන්ට එකඟ වූ දීමනා ලැබෙන්නේ ද නැත.අවසානයේදී මහලු නිවාසයක  කාත් කවුරුවත් නැති අසරණයකු ලෙස මිය යාමේ ඉරණම බාරගත යුතුව ඇත. දැනගන්නට ඇති පරිදි මෙම ඇඩ්‍රස් නෑ ගීතයේ පද රචනය වෙනුවෙන්ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මුදල් හිමිව නැත. ඒ මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා තම ව්‍යාපාර බංකොලොත්වීම හේතුවෙනි.

අපේ රටේ නීතියේ සිදුරු බොහෝය. ධනවත්, බලවත් අයටත ඒ සිදුරුවලින් රිංගායෑම අතිශයින්ම පහසුය. ඒ නිසා මේ මංකොල්ලකරුවන්ට නීතියේ රිංගායෑමට නොහැකිවන ලෙසට නීතියේ හිල් වැසිය යුතුය.

හෙට දිනය වනවිට අපට මේ සිද්ධිය අමතකවනු ඇත. යළිත් මෙවන් සිද්ධියක් වනතුරුම අප මෙවැන්නක් ගැන කතානොකරනු ඇත. එවිට කලාවට පමණක් නොව අපටද ඇඩ්‍රස් නැතිවනු ඇත. එහෙත් ඒ බව තේරුම් ගන්නට අපට බොහෝ කල් ගතවනු ඇත.

දයා විජේභාහු
 
 
 


More News
...
Tuesday, 06 April 2021 - 15:04

  මත්ද්‍රව්‍ය, පාතාලය හා දේශපාලනය යනු එක කුස උපන් නිවුන් සහෝදරයන් බඳුය. බොහෝ දේශපාලනඥයන් හා ඔවුන්ගේ...   Read more

...
Wednesday, 31 March 2021 - 14:07

මහා බ්‍රිතාන්‍ය අතීතයේදී සිය අවි බලයෙන් පෙරදිග හා අපරදිග රටවල් යටත් කර ගත්හ. ඇමරිකා එක්සත් ජනපදය...   Read more

...
Tuesday, 30 March 2021 - 15:31

අලුත් අවුරුදු උත්සව සමය කට ළඟ තිබියදී පොල්තෙල් පිළිබඳ අර්බුදයක් මතුව තිබීම කනගාටුවට කාරණයකි. කොවිඩ්...   Read more

දවසේ වීඩියෝව