Tuesday, 06 April 2021 - 15:04
දේශපාලනයේ නිවුන්නු
...
 
මත්ද්‍රව්‍ය, පාතාලය හා දේශපාලනය යනු එක කුස උපන් නිවුන් සහෝදරයන් බඳුය. බොහෝ දේශපාලනඥයන් හා ඔවුන්ගේ එහෙයියන් ධනය හා බලයට මුවාවී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති. ඇතැම් දේශපාලනඥයන් එළිපිටම එනම් ආණ්ඩුවේ ලයිසන් පිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙති. ඇතැම්විට මත්ද්‍රව්‍ය නිවාරණයේ නිරතව සිටින ආරක්ෂ අංශ නිළධාරීන්ද මේවාට සහය දක්වති. කෙසේ වෙතත් දේශපාලන බලයත්, අසීමාන්තික ධනයත් නිසා ඔවුන්ගේ මේ ජාවාරම් වැසීයයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව ඉතාම ශක්තිමත් මත්ද්‍රව්‍ය  නිවාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේය. ඒ නිසා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල සාමාජිකයන් සිය ජීවිත ආරක්ෂාව පතා බන්ධනාගාරගත වූ අතර ඇතැම්හු ඉන්දියාවට හෝ වෙනත් විදෙස් රටවලට පළා ගියහ. මේ අතර තවත් පිරිසක් මහා පරිමාණයෙන් මුදල් වියදම් කරමින් සුපිරි බෝට්ටු හෝ නැව් වල නැගී මාස ගණණාවක් මහ මුහුදේ සැංගී සිටින බවද බුද්ධි අංශ අණාවරණය කරගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම යනු දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් වැඩිම ආදායමක් ඉපයිය හැකි නීති විරෝධී ජාවාරමකි. කසිප්පු බෝතලයෙන් ව්‍යාපාරය පටන් ගන්නා පුද්ගලයා අවසානයේ නතර වන්නේ මහා පරිමණා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත්වීමෙනි. එමෙන්ම දුම්වැටියෙන් මත්ද්‍රව්‍ය පානය පටන්ගන්නා තැනැත්තා අවසානයේදී නොයෙකුත් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙති. ඒ නිසා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීමට පෙර දුම්වැටි අලවිය හා මෙරටට ගෙන්වීම නතර කළ යුතුය.

අරක්කු හා සිගරට් වෙනුවෙන් මෙරට ජනතාව දිනකට රුපියල් කෝටි 97 ක මුදලක් වියදම් කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් වියදම් කොට ඔවුහු සුරසැප විඳිති. බොහෝ විට ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල හෝ විදෙස්ගතව අධ්‍යාපනය ලබයි. එහෙත් මේ සියළු සැප සම්පත් තාවකාලිකය. වෙනත් ජාවාරම්කරුවකුගේ උණඩයකින් ඔවුහු නිසි ආයුෂ විඳීමටත් පෙර ජන්මාන්තර ගත වෙති.

කෙසේ වෙතත් රජයේ මත්ද්‍රව්‍ය ජාවාරමට අභියෝග කරන පිරිස් ආණ්ඩුවේම සිටිති. මේ අය ඉතා බලවත් ඇමතිවරුන්ය. ඔවුන්ගේ ධනය හමුවේ ආණ්ඩුවේ ඇතැම් බලධාරීන්ගේ කටවල් වැසිලාය. ඒ නිසා අද වනවිට මෙරට විවිධාකාර මත්ද්‍රව්‍යයන් හුවමාරුවෙති. ජාවාරම්කරුවන් නිසා රාජ්‍ය සේවය, විශේෂයෙන්ම ඇතැම් ආරක්ෂක නිළධාරීන් කොතරම් නිවට තත්ත්වයට වැටුණාද කියතොත් ඇතැම් දේශපාලනඥන්ගේ ආරක්ෂක නිළධාරීන්ද කසිප්පු සහ ගෝඩා බැරල් ප්‍රවාහනය කළ බව පසුගිය කාලයේ අසන්නට ලැබුණි.

මත්ද්‍රව්‍ය හා දේශපාලනය අතර ඇති සම්බන්ධකම් පිළිබඳව කතා කිරීමට ගියහොත් තමන්ට දේශපාලනය කළ නොහැකි තත්ත්වයක් උදාවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරක් ප්‍රකාශ කළේය.මත්ද්‍රව්‍ය හා දේශපාලනය අතර ඇති සම්බන්ධකම් අතර ඇති ප්‍රබල සම්බන්ධකම මැනවින් පැහැදිලිවේ. ඒ නිසා මෙය අතිශය බරපතල ප්‍රශ්නයකි. සංඛ්‍යා වාර්තා අනුව මෙරට ජනගහණයෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් විවිධාකාර මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිව සිටිති. මෙරට අළවි වන බලපත්‍රලාබී අරක්කුවලින් වැඩිම ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ අළවිවන අතර වතුකරයේ පිරිමින්ට වඩා ගැහැණුන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිව සිටින බවත් එම වාර්තාවල දැක්වේ. එමෙන්ම විශේෂයෙන්ම ටියුෂන් පංති ආශ්‍රිතව පාසල් ළමුන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනබවද වාර්තවේ.

මෙම ගැටළුවට විසඳුම් සෙවිය යුතුව තිබුනේ මෙයට වසර ගණනාවකට පෙරය. එහෙත් දේශපාලන සුරතලුන් නිසා එය යටපත් විය. නියපොත්තෙන් කැඩිය යුතුව තිබූ පිළිකාව දැන් පොරවෙන් කඩන තත්ත්වයට පත්ව ඇත. ඒ නිසා තවදුරටත් සුරතලුන්ට නටන්නට ඉඩ දිය යුතු නැත. පාලනය සම්බන්ධයෙන් කුමන ගැටළු මතුවුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වලට යොමුවිය. එම ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඔහු උත්සාහ ගත්තද රාජ්‍ය නොවන සංවිධාන හා ජාවාරම්කරුවන්ගේ ධනයෙන් ජීවත්වන දේශපාලනඥයන් නිසා ඒ උත්සාහය යටපත්විය. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වනතුරු මුළු රටම තවමත් බලාසිටිනවාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාතාල සාමාජිකයන්ට හා ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට නාමයෝජනා ලබානොදෙන බවට හැම මැතිවරණයකදීම දේශපාලන පක්ෂ පැවසුවත් එය කවමදාකවත් සිදුවන්නේ නැත. තමන්ට බැරිනම් තම සුරතලුන්ට හෝ නාමයෝජනා ලබාදී ඒ බලයෙන් තම ජාවාරම් සිදුකරගෙන යෑමට ජාවාරම්කරුවන් කටයුතු කරති.

88/89 ධවල භීෂණ සමයේදී ආරක්ෂක අංශවලට වඩා වැඩියෙන් වැඩ තිබුනේ මේ ජාවාරම්කාර නිල නොලත් ලයිසන් චණිඩින්ටය. මෙරට සිටි ඇතැම් රාජ්‍ය නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාදාන විනිසුරු පට්ටම්ලබාදුන්නා අපට මතය. එමෙන්ම සොත්ති උපාලි වැනි කුප්‍රකට පාතාල සාමාජිකයන්ට ඇතැම් මැති ඇමැතිවරුන් පවා ගරු බහුමන් කළහ. 88/89 සමයේදී ‍ඔහු කොළඹ නිලනොලත් පොලිස් ප්‍රධානියා විය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ සමයේදී ජනාධිපති ආරක්ෂක අංශයේ පවා බැද්දගානේ සංජීව වැනි පාතාල සාමාජිකයන් කටයුතු කළ බව වාර්තා විය.

වත්මන් ආණ්ඩුවත් නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයකුගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැටළු අවස්ථාවේදී එවකට සිටි රාජ්‍ය නායකයා ඊට පසුදිනම ඔහුගේ නිවසට ගොස් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා වැළඳගන්නා ඡායාරූප එකට මාධ්‍යයේ පළවිය. ඒ පාතාලය හා රාජ්‍ය නායකයන් අතර ඇති සම්බන්ධකම්වලින් අංශු මාත්‍රයක් පමණි.

අදවනවිට මේ වත්මන් ආණ්ඩුවේද එවැනි සම්බන්ධකම් ඇති දේශපාලනඥයන් ගණනාවක්ම සිටිති. බොහ‍හෝවිට ආණ්ඩුව දුවන්නේ ඔවුන්ගේ ධනයෙනි. කෙටියෙන් පවසතොත් ඕනෑම ආණ්ඩුවක වැඩකාරයන් වන්නේ මේ ධනවත්, බලවත් ජාවාරම්කරුවන්ය. තමන්ට අවන‍ත නොවන විට තමන්ගේ ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිළධාරීන් මාරුකරන්නට හෝ ඔවුන්ගේ ජීවන ඉරණම තීන්දුකරන්නට හෝ මේ ජාවාරම්කාර දේශපාලනඥයන් පසුබට වන්නේ නැත. ඒ සඳහා අතීත උදාහරණ රාශියකි.

මැතිවරණයේ ජය පරාජය තීන්දු වන්නේ කතිරයේ බලයෙන් නොව ජාවාරම්කරුවන්ගේ මුදල් මතිනි. මේ ‍ජාවාරම්කාර දේශපාලනඥයන්ගෙ ධනය හා බලය ඉදිරියේ සාම්ප්‍රධායික දේශපාලනය ක්‍රමයෙන් අභාවයට යමින් තිබේ. එසේ නොවුනානම් කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේදී තම ජීවිතය ගැනද නොතකමින් ජනතාවට කෑම,බීම සැපයූ පාලිත තෙවරප්පෙරුම වැනි අය මහමැතිවරණයෙන් පරාජිතයන් වන්නේ නැත. තෙවරප්පෙරුම වැනි අවංක දේශපාලනඥයන් යට යනවිට සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු වැනි රස්තියාදුකාර දේශපාලනඥයන් උඩටඑති. ඔවුන් පෙනී සිටින්නේ සර්වජන ඡන්ද බලය වෙනුවෙන් නොව ජාවාරම්කරුවන් වෙනුවෙනි.

මත්ද්‍රව්‍ය ජාවාරුමු දේශපාලනයට නොගෙනේමට සියළුම පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති විය යුතුය. එහෙත් එවැන්නක් මේ කපේදී අපේ රටේදී සිදුවන්නේ නැත.

දයා විජේභාහු
 
        


More News
...
Monday, 10 May 2021 - 15:16

අද අපිට සිදුව ඇත්තේ අග්ගලා මල්ලට සර්පයා රිංගුවා වැනි වැඩකි. අග්ගලා යනු රසවත් කෑමකි. අග්ගලා මල්ලට...   Read more

...
Tuesday, 04 May 2021 - 13:30

         මේ වනවිට කොරෝනා වයිරසයේ තුන්වැනි රැල්ල සමඟින් පොරබදන අපි එන්නත් කරන වැඩපිළිවෙල ගැන...   Read more

...
Friday, 23 April 2021 - 15:16

      මීට දශක දෙකකට පෙර එවකට තරුණ පරපුර අතර අතිශයින්ම ජනප්‍රිය ගායකයන් දෙපළ වූයේ අජිත් මුතුකුමාරණ...   Read more

දවසේ වීඩියෝව