Monday, 28 September 2020 - 14:26
“ගොඩනැගිල්ල කඩා වැටෙන්න මොහොතකට කලින් ඉවත් වුණා කියන එක රංගනයක්. සී.සී.ටී.වී. දර්ශන කිසිවක් එළියට එන්නේ නැහැ”
...

ලිකඩින් නිමැවුන භූමිය භූ වැල්ල යැයි පැරැන්නෝ කියා ඇත්තේ කට කසනවාටම නොවේ. බූවැලිකඩ ගෙයක් කඩාගෙන වැටිලා... යමු දැයි මිත්‍රයෙක් ඇසුවේ හරියටම ඉකුත් විසිවැනි ඉරිදා අලුයම පහට පමණය. නිවාඩු දිනයක් බැවින් දවල් යමු කීවද, ඔහු පෙරැත්ත කළේ නෑ නෑ යමු මිනිස්සු කලබල වෙලා ඉන්න හැටි බලන්න යමු.. කියමිනි.

මහනුවර පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා  ද සිදුවීම පිළිබඳ තහවුරු කළ බැවින් ඒ මොහොත් එහි ගියෙමු.

නිවසේ හිමිකරුවන් පෙනෙන්නට නොසිටීමෙන් තරමක කුහුලක් ඇති වූවද, මගේ මිත්‍රයා ඇලි ගානේ බැස වටපිට  හෙව්වේ නැති වූ යමක් සොයන්නාක් පරිද්දෙනි.

“අර බලන්න දැන් වෙලාව හයයි. ගේ වැටුණේ පහට නම් කෝ මේ වැටුණ ගේ ඇතුළේ තිබුණ ලොකු ලොකු බඩු? එසේ කියමින් ඔහු ආරක්ෂක නිලධාරීන් යටවූ මිනිසුන් සොයන වෑයම දෙස බලනවාටත් වඩා වටපිටාව පිළිබඳව යුහුසුළුව සොයා බැලීය.

ඒ වනවිට අද අප අතරින් සමුගෙන ගොස් ඇති තිස්පස් වියැති චමිල ප්‍රසාද්, තිස් දෙහැවරිදි අචලා ඒකනායක හා මාස එකහමාරක් වයසැති ඔනෙලා ඒකනායක සිය හුස්ම පොද වාතලයට මුසුකොට හෝරාවක්වත් ගතව නැත්තේය. ඔනෙලා සිඟිත්තය සීරිමක් හෝ නොමැතිව සමුගෙන ගොස් තිබුණේ හිසට වූ දරුණු තුවාලයක් නිසාය. කුමක හෝ ගැටුණු ඇයගේ හිස අභ්‍යන්තරයේ සිදුවූ ලේවහනය හේතුවෙන් ඇය දෑස් පියා සිටියාය.

එකම තැන එකම ඉරියව්වක් සේ හැඟෙන පරිද්දෙන් චමිලත් අචලාත් සිරිවී සිටියහ. ඔවුන්ගේ ඇඟ මතට විශාල කොන්ක්‍රීට් තට්ටුවක් වැටී තිබුණේය. අලුයම හයේ සිට දහවල් දොළහයි තිහ පසුවන තුරුම යුද හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ වෙත පැවරුණේ මේ කොන්ක්‍රීට් තට්ටුව කපා දැමීමේ කාර්යය. එය ඉවත් කොට චමිලව මතුකර ගත්තච, ඔහුගේ හිසට වූ දැඩි හානි සහ සුෂුම්නාව බිඳී යාමෙන් චමිලගේ දේහය නිසලව තිබිණි. අනතුරුව අදලා පිටතට ගැනීමට ආරක්ෂක අංශ දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූයේ ඇයගේ සිරුර පුරා බහුවිධ තුවාල තිබූ නිසාය. හිසට මුහුණට පමණක් නොව සිරුර පුරා තුවාලම පමණක් වූ අචලා ජීවත්ව සිටි කාලයේ කෙතරම් නම් රූමත් ලලනාවක්ද?

ඇයගේ පියා සුදු දුව යැයි අමතමින් සනෙහස පෑ අවදිය චිත්‍රයක් මෙන් සිසිර බණ්ඩාර මහතාගේ සිතේ මැවෙන්නට ඇත. එසේ හෙයින්ම පිරිමියෙකු ලෙස දරාගෙන සිටි මහා වේදනාව බූවැලිකඩ පෙදෙසම කම්පාවෙන් ඇලලමින්, මහා දහවලට අන්දකාර මූසල බවක් ගෙන්වමින් විලාපයක් බවට පත්කළේ අචලා ගිලන්රථයට දැමූ අවස්ථාවේය.

ඉකිබිඳුම කෙළවර ඔහු හිතේ ආවේගය වචනයෙන් පිට කළේය. අචලා ඒකනායකගේ පියා වූ සිසිර කුමාර මහතා මාධ්‍ය හමුවේ පැවසූවේ මෙම මරණ සඳහා වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර  කඩිනමින් ගතයුතු බවය. මෙය හදිසි අනතුරක් නොව මිනී මැරුමක් බවත්, අවිධිමත් ආකාරයෙන් ඉදිකළ ගොඩනැගිලි කඩන් වැටෙන වේලාවේ ඒවාහි අයිතිකරුවන් තමන්ගේ ජීවිත, යාන වාහන පමණක් නොව බල්ලෝ පවා බේරගෙන පැනගොස් ඇති බව කී ඔහු ‘ඇයි අපේ දරුවන්ව අවදි නොකළේ’ යැයි අසන්නේය.

කොපමණ මුදල් ලැබුණත් මියගිය අයට යළි පණ නොලැබෙන බවත් ඒ නිසා වන්දි කිසිවක්ම අවශ්‍ය නොමැති බවත් කී අචලාගේ පියා තමන් ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් පමණක් බව යළි යළිත් කීය.

අචලාත් චමිලත් ඔවුන්ගේ නවාතැන විදේශිකයන් සඳහා වන කුඩා හෝටලයක් පවත්වාගෙනක ගොස් ඇත්තේ කෙටි කලක සිටය. එහි පසුපස කාමරයක මේ යුවලත් සෙසු කාමරයේ අදලාගේ මව වන හැට හැවරිදි ජයන්ති ඒකනාවක මහත්මියත් ඥාති සොයුරියකත් නැවතී ඇත්තේය.

“මම හෝටලයේ වැඩකරන දුවත් එක්ක හෝටලයේ කාමරයේ නිදාගෙන හිටියා. එහා කාමරයේ පුතයි දුවයි දරුවයි නිදාගෙන හිටියා. උදේ පාන්දර පොළොව දෙදරගෙන ලොකු සද්දයක් ආවා. මොනවත් පෙනුනේ නැහැ. අපේ කාමරේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තුවෙලා තිබුණේ. හතර වටේ මොකුත්ම පෙනුනේ නැහැ. ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා. ඒකෙන් 119 අංකයට ඇමතුමක් අරන් ගේ කඩාගෙන වැටුණා කියලා කිව්වා. වෙලාව පහට විතර ඇති මගේ හිතේ. ඊට ටික වෙලාවකට පස්සේ පොලීසියට එතනට ආවා. ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුවල ගැටගහලා අපිව උඩට ගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා. මියගිය අචලා ඒකනායකගේ මව වන ජයන්ති මහත්මිය පැවසුවාය.

මියගිය අචලා ඒකනායක නැමැති අය නීතීඥවරියකි. ඇය විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසත් සේවය කළාය. ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයාත් සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වූ අයෙකු වූයේ ඡායාරූප ශිල්පී ධනුෂ්ක අරවින්දය.

“චමිල සහ අචලා ආචර සම්බන්ධයකින් විවාහ වුණේ. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි ඒ දෙන්නගේ වෙඩින් එක තිබ්බේ. මම තමයි එයාලගේ ෆොටෝ ගත්තේ. එයාලගෙ දුව ඇත්තටම හනිමුන් බේබි කෙනෙක්. චමිල අම්පාරේ උපන් කෙනෙක්. අචලා බණ්ඩාරවෙල. චමිල හොඳව්‍යාපාරිකයෙක්. කඩා වැටුණු ගොඩනැගිල්ලට පහළින් එයා හෝටලයක් පවත්වාගෙන ගියා. විවාහයෙන් පස්සේ එයාලා පදිංචිව සිටියෙත් හෝටලයේම ඉහළ මහලේ කාමරයක. දුව ලැබෙන්න ඉද්දී අචලගේ අම්මා කිව්වා බණ්ඩාරනායක මහ ගෙදර එන්න කියලා. ඒත් චමිලව දාලා යන්න අචලා කැමති වුණේ නැහැ. දෙන්නා හරිම ආදරෙයෙන් හිටියේ. උපදින්න ඉන්න දරුවාගේ අනාගතය ගැන එයාලා නිතරම කල්පනා කළා. දුව ලැබෙන්න ඉද්දී දෙන්නා ෆොටෝ ෂූට් එකක් කළා. ඒකේ ඡායාරූප ගත්තෙත් මමයි. දරුවා උපන්නට පස්සේ දෙන්නගෙම ලෝකය වුණේ ඔනෙලා. මේ සුන්දර ලෝකය අද සුණුවිසුණු වෙලා. මහා විනාශයක් කරපු අය අද නිදැල්ලේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියන සැකය අපිට තියෙනවා. මෙච්චර ලොකු ගොඩනැගිල්ලක් කඩා වැටුනම ඒකේ මොනතරම් බඩු තියෙන්න ඕනෙද? මෙයාලා සිද්ධිය කලින් දැනගෙන ගෙදර තියෙන බඩු අරන් ගිහින් කියන සැකය අපිට තියෙනවා. ගොඩනැගිල්ල කඩා වැටෙන්න මොහොතකට කලින් ඉවත් වුණා කියන එක රංගනයක්. සී.සී.ටී.වී. දර්ශන කිසිවක් එළියට එන්නේ නැහැ. නගර සභාව පොලීසිය සිද්ධිය යටගහනවා කියන එක තමයි අපේ හැඟීම. මේක අනවසර ඉදිකිරීමක්ද නැද්ද කියලා කියන්න නගර සභාවට සිද්ධිය වෙලා දින හයක් යනතුරුත් බැරිවෙලා..” මියගිය චමිලගේ මිතුරෙකුවන ධනුෂ්ක අරවින්ද පැවසුවේය.

මේ සියලු කාරණා සම්බන්ධයෙන් අනුර ලෙව්කේ මහතා කියා සිටියේ මෙපමණකි.

“අපි රෑ වෙනකල් ටීවී බැලුවා. ඉන් පස්සේ නිදාගන්න යනකොටත් එකට විතර ඇති. හිටිහැටියේම ලොකු සද්දයක් ආවා කොහෙන්ද හිතාගන්න බැරිවුණා. ඒ වෙද්දීම දකුණු අත පැත්තේ ගෙදර දෙන්නා ටෝච් ගහලා අපට කතා කරලා කිව්වා පහල කොන්ක්‍රීට් කණුකැඩෙනවා වගේ කියලා. ඒ ගමන්ම මම ෂර්ට් එකක් හෙව්වා ඇඳගන්න. කාමරේ පොළව ඇදවුණා වගෙත් දැනුණා. පුතා එතකොටම කෑ ගැහුවා අප්පච්චි එළියට එන්න කියලා.

එයා එළියට පැනලා බල්ලන්ගේ කූඩුත් ඇරගෙන වාහනය පාරට දාලා. මම දුවගෙන යද්දී නෝනයි දුවයි පුතයි පාරේ. අපි බලාගෙන ඉද්දීම ගේ සම්පූර්ණයෙන්ම පහළට ඇදගෙන ගියා..”

මියගිය තිදෙනාගේ නික්ම යෑම හෙවත් අවසන් කටයුතුසිදුවූ මොහොත යළිත් මේ ඛේදවාචකයේ නව්‍යවීමක් ඇති වූයේ ඥාතීන්ගේ සහෘදයන්ගේ විලාපය නිසායත එංගලන්තයේ සිට අවමංගල්‍ය මොහොතට පැමිණ සිටි චමිලගේ වැඩිමහල් සහෝදරයා වන චමින්ද කුමාර විලාප තැබුයේ සහෝදර ප්‍රේමය කෙතරම් ප්‍රබලද යන වග පෙන්වමිනි. අන්තර්ජාලය ඔස්සේ නිතර කතාබහ කරන මේ සහෝදර ප්‍රේමයේ රඟ චමින්දගේ වැළපීමෙන් සනාථ විය. ඔහු නිරෝධායනයට ලක්කර සිටීම නිසා අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේ විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසිලාය. වෑන් රථයක සිට කවුළුවකින් තම සහෝදරයාගේත් නෑනාගේ සහ දියණියගේත් මළ සිරුරු දැක ගන්නට ඔහුට අවස්ථාව ලබාදී තිබිණි.

“අනේ මගේ රත්තරන් මල්ලී.. ඔයා මගේ පණ මල්ලි... අනේ මගේ චූටි දූකෝ... ලොකු අප්පච්චිට හිනාවක් දෙන්න කිව්වම මලක් වගේ හිනා වෙනවා.. අද ලොකු අප්පච්චි ආවම බලන්නේ නැත්තේ ඇයි රත්තරං.. ඔයා අම්මයි අප්පච්චි එක්ක ගිහින් සතුටින් ඉන්න මගෙ අම්මා.” ඔහු වේදනාව පිට කළේ එළෙසය.

රටේ ජනතාව හෝ බලධාරීන් හෝ නිලධාරීන් හෝ සෑම විටකම යමක් පිළිබඳව අවධානය යොමු කරන්නේ එහි දරුණු විපාකය දුටු විටකදීමය. රජය වූවත් රාජ්‍ය නිලධාරීන් වූවත් පෞද්ගලික අංශය වූවත් නව තාක්ෂණික ක්‍රමවේද හෝ තම තමන්ගේ හෝ ආයතනික මට්ටමේ නීති රීති හෝ නව සංකල්ප හෝ නව අදහස් හෝ ප්‍රායෝගිකව ජනතාව අතරට ගෙන එන්නේ අවසන් හෝරාවත් නික්ම ගිය පසුවය. කෙටියෙන්ම කියතොත් ඉස්තාලය වසා දමන්නේ අශ්වයා පැනගිය පසුවය.

තව දුරටත් එවැනිම ක්‍රමවේදයක් බලධාරීන් සහ නිලධාරීන් විසින් අනුගමනය කළහොත් අපට සිදුවන්නේ සෑම දිනකම ශෝකාලාප කියවමින් සිටීමටය.

සටහන - සමන්ති වීරසේකර



More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...