Wednesday, 21 April 2021 - 12:57
නොමලවුන්ගේ ගැටළුව
...
 
අද අප්‍රේල් 21 වැනිදාය. අද දිනය සාමාන්‍ය දිනයක් සේ අපට දැනුනද මීට දෙවසරකට පෙර එනම් 2019 අප්‍රේල් 21 වැනිදා මුළු රටම හඩා වැටුණි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ තිස්  අවුරුදු  යුද්ධය නිමාකිරීමේ දසවසර සමරන්නට දිනදහයකට පෙර සහරාන් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙරට කිතුනු පල්ලි කිහිපයක හා සංචාරක හෝටල කිපයකදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත්තේ මුළු රටම යළිත් බියෙන් සලිත කරමිනි.

ගණනින් මිනිස් ජීවිත 267ක් බිලිගත් සහරාන්ගේ මිනිස් බෝම්බය තවත් 500 වැඩි පිරිසක් තුවාලකරුවන් බවට පත් කළේය. ඒ ප්‍රහාරය සිදුවූ සැටි විස්තර කරමින් යටපත්ව තිබෙන මිනිස් තුවාල නැවත පාරවන්නට අපට අවශ්‍ය නැත. එහෙත් මේ ප්‍රහාරය ගැන කතා කළයුතුව ඇත. ඒ නිදහස අගයන, අන්තවාදය හෙළා දකින නිදහස් මිනිසුන් වශයෙනි. ඒ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ උණුසුම තවමත් මිනිස් සිතින් පහව ගොස් නැති නිසාවෙනි.

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වන්නේ ජනාධිපති, අගමැති, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ඉහළ ආරක්ෂක ප්‍රධානීන් හෝ ඉහළම මට්ටමේ ආගමික නායකයෝය. විශේෂත්වයනම් සහරාන්ගේ ස්වයංඝාතක බෝම්බකරුවන්ට මේ කිසිවකුත් ඉලක්ක නොවීමයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ස්වකීය තිස්වසරක සටන් ඉතිහාසය තුළ ස්වයංඝාතක බෝම්බ පුපුරවා ගත්තේ  නිකම්ම නිකම් යම් අරමුණක් වෙනුවෙනි. එනම් තමන්ගේම නිජබිමක් නිර්මාණය කර ගැනීමේ අරමුණිනි. නමුත් දෙවියන් ළඟට යෑම හැරුණ විට සහරන්ගේ බෝම්බයට වෙනත් අරමුණක් නොතිබූ බවට වන ප්‍රකාශය පිළිගත නොහැකිය.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් සටන්කාමීන්ගේ ගිණුමට බැරවූ අතර පසුව එය තවත් විවිධ පාර්ශව ගණනාවකට බැරවිය. අවසානයේදී සියල්ලෝම පොලිස්පතිවරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිසට අතසෝදා තම දෑත් පිරිසිදුකර ගත්හ. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ප්‍රහාරය ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළහ.

සුපුරුදු පරිදි දේශපාලකයෝ ඡන්දය වෙනුවෙන් පාස්කු වින්දිතයන්ගේ කඳුළු පාවිච්චි කළහ. බෝම්බයෙන් පීඩාවට පත්වූවන් තවමත් යුක්තිය ඉල්ලා හඬා වැටෙති.සියළුම තොරතුරු ලැබී තිබියදීත් රජය මේ ගැන නිහඩ පිළිවෙතක් අනුගමනය කළ බව කියන්නේ ඒ ආණ්ඩුවේත් ඇමතිකම් කළ, වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එස්.බී දිසානායකය. ඔහු පවසන්නේ එම වසරේදී පැවැත්වීමට නියමිතව තීබු ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද නොලැබේය යන අදහසින් යුතුව පැවති රජය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවය. මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බැවින් පල්ලි නොයන ලෙස ඒ ආණ්ඩුවේ ඇමතිවරයකු වූ, අද විපක්ෂ මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දුට කියන්නේ ආරක්ෂක නිළධාරීන් නොව හරින්ගේ පියායි. මන්ත්‍රී තාත්තා දැන සිටි දෙය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ආරක්ෂක ප්‍රධානීන් දැන නොසිටියේ යැයි අපට සිතන්නට බැරිය.

කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරය නිසා පැවති රජය ජනාධිපතිවරණය පරාජය වූ අතර අලුත් නායකයකු රටට බිහිවිය. ඒ නිසා මේ බෝම්බ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම දේශපාලනිකය. අලුත් ජනාධිපතිවරයකු පත්වුවත් තවමත් වින්දිතයන්ට යුක්තිය ඉටුවුනේ නැත.  යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම ගැන අපට පමණක් නොව එදා රාජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සිරිසේනටද ප්‍රශ්නයක් තිබෙන බව ඔහුගේ ප්‍රකාශවලින් තහවුරුවේ. අද ඔහුත් මෙම ප්‍රහාරය විවේනය කරති.  සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය පිටුපස යහපාලන ආණ්ඩුවේ රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් ඇමතිවරුන්ගේ නම් කියවුනේය. නමුත් ඔවුන් තවමත් නිරුපද්‍රිතව යෙහෙන් වැජබෙති. මේ වනවිට මෙම බෝම්බ ප්‍රහාරය ගැන පැති කිහිපයකින් විමර්ශණය කොට තිබේ. දැන් ඇත්තේ නඩු පවරා අපරාධකරුවන්ට දණ්ඩණ පැමිණවීම පමණි.  

කෙසේ වෙතත් ආගමික අන්තවාදයට හා ත්‍රස්තවාදය සැළකිය යුතු ඉතිහාසයක් තිබේ. විවිධ ආගම් ඔස්සේ ලෝකයට අන්තවාදීන් බිහිවූ අතර පසුව ඔවුහු අන්තවාදීන් බවට පත්වූහ. මෙහි උච්ඡතම අවස්ථාව නම් අන්‍යාගමිකයන් ඝාතනය කිරීමය. අපේ රටේ නැතත ලොව බොහෝ රටවල අන්තවාදී අගාමිකයන් මේ දුෂ්ඨ ක්‍රියාව  නිරතවෙති. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා ආරක්ෂක මූලස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටියේ අල්කයිඩා නම් ආගමික අන්තවාදී සංවිධානයයි.

පාස්කු කොමිෂන් සභා වාර්තාව අනුව යමින් මෙරට ක්‍රියාත්මක වූ අන්තවාදී ආගමික සංවිධාන 17ක් තහනම් කිරීමට රජය කටයුතු කළා. කෙසේ නමුත් එම කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන පරිදි බොදුබල සේනා සංවිධානයට පැනවූ තරමේවත් දණ්ඩනයක් තහනම් කරනු ලැබූ අන්තවාදී මුස්ලිම් සංවිධානවලට පනවා නැත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කරපිට ප්‍රහාරයේ වගකීම පැටවූවාට ද වැඩක් නැත. කෙටියෙන් කියතොත් ‍මේ කොමිෂන් සභා වාර්තාවෙන් සිදුව තිබෙන්නේ සිරිසේන, සිරිපාල කොට, සිරිපාල , සිරිසේන බවට පත්කිරීම වැනි වැඩකි. නම් මාරුවුණාට වැඩක් නැත ප්‍රශ්නය එතනමය. එයට විසඳුමක් නැත.  

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන්නේ අවසන් ප්‍රහාරයේදීය. නමුත් මෙරට අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයායැයි හඳුන්වනු ලැබූ සහරාන් නැමැත්තා ස්වකීය පළමු ප්‍රහාරයෙන්ම මරාගෙන මැරුණේය. එය විශ්වාස කළ නොහැකිය. සහරාන් මෙම ප්‍රහාර මාලාවට යොදාගනු ලැබූ ඉත්තෙක් විය හැකිය. එසේනම් සැබෑ මොලකරු කවුද ? අප හමුවේ ඇති බරපතළ ගැටළුව එයයි. දැනට අත්අඩංගුවේ පසුවන නවුපර් මව්ලවි නැමැත්තා මෙරට අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා බවට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවද එය බොහෝ දෙනා හඳුන්වන්නේ ගැලවිජ්ජාවට කළ කතාවක් ලෙසිනි.

සහරාන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ සරා ජෙස්මින් නැමැත්තිය මේ වනවිට ඉන්දියාවට පළාගොස් ඇතැයි පැවසේ. ඇය අත්අඩංගුවට ගැනීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට රජය කිසිඳු උත්සාහයක් නොදරන බවක් පෙනේ. ඒ බලපෑම් නිසාද ? එසේනම් බලපෑම් එල්ලවන්නේ කාගෙන්ද?එමෙන්ම මරාගෙන මැරෙන බවට සහරාන් ඉදිරියේ දිවුරුම්දුන් තවත් පිරිස් සිටින බව ආරක්ෂක අංශ පවසයි. අළු යට ගිණි කොයි මොහොතක හෝ පත්තුවිය හැක. ඒ නිසා තත්ත්වය බැරූරුම්ය. පිලිතුරු නැති ප්‍රශ්න එමටය.

එබැවින් අවශ්‍යයෙන්ම පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ සියළුම ලොකු කුඩා මොලකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතුමය.

නැතහොත් සිදුවන්නේ ලබන වසරෙත් අප්‍රේල් 21 වැනිදා උදෑසන විනාඩි දෙකක නිහඩතාවයක් පවත්වා සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහෝදර කිතුණු භකිතිකයන් සිහිකිරීම පමණි.

යුද්ධයක අමිහිරි මතක ඇති ජාතිකයක පැතුම එය නොවේ...
 
දයා විජේභාහු
 
 
 
 


More News
...
Monday, 10 May 2021 - 15:16

අද අපිට සිදුව ඇත්තේ අග්ගලා මල්ලට සර්පයා රිංගුවා වැනි වැඩකි. අග්ගලා යනු රසවත් කෑමකි. අග්ගලා මල්ලට...   Read more

...
Tuesday, 04 May 2021 - 13:30

         මේ වනවිට කොරෝනා වයිරසයේ තුන්වැනි රැල්ල සමඟින් පොරබදන අපි එන්නත් කරන වැඩපිළිවෙල ගැන...   Read more

...
Friday, 23 April 2021 - 15:16

      මීට දශක දෙකකට පෙර එවකට තරුණ පරපුර අතර අතිශයින්ම ජනප්‍රිය ගායකයන් දෙපළ වූයේ අජිත් මුතුකුමාරණ...   Read more

දවසේ වීඩියෝව