Friday, 23 April 2021 - 15:16
අලුත්වෙන කොරෝනා සිංදුව
...
     
මීට දශක දෙකකට පෙර එවකට තරුණ පරපුර අතර අතිශයින්ම ජනප්‍රිය ගායකයන් දෙපළ වූයේ අජිත් මුතුකුමාරණ හා කිංස්ලි පීරිස්ය. විරහ ගී ගැයීමට අමතරව ඕනෑම ව්‍යවසනයකදී එය අලලා රචිත ගී ගැයීමද ඔවුහු දෙදෙනා සිදුකළහ. මේ නිසා කැසට් ව්‍යාපාරිකයෝ ගොඩ ගියහ. ඇන්ටන් ජෝන්ස්ගේ බයිලා තරම් රසවත් නැති වුණත් අජිත්ගේ හා කිංස්ලිගේ සිංදු නැගලා ගියේය.

අන්තර් ජාලය මෙරට ආක්‍රමණය කිරීමත් සමඟ කැසට් ව්‍යාපාරය නැත්තටම නැතිවී ගියේය. සහරාන්ගේ බෝම්බයත් ඉන්පසු අවුරුද්දේ කොරෝනා වයිරසය මුළු ලෝකයේම ව්‍යාප්තවී යාමත් නිසා අජිතටත්, කිංස්ලිටත් පමණක් නොව සකල කලාවටම කණ කොකා හැඬුවේය. එසේ නොවුනානම් අන්තර් ජාලයෙන් කාගෙන් හෝ කොරෝනා සිංදු ටිකක් අසන්නට තිබුණි. එහෙත් දේශපාලකයන් කියන කොරෝනා බයිලානම් අපට දැන් අවුරුද්දක් තිස්සේ ඇසෙන්නේය.

කලින් සඳහන් කළ ආකාරයට 2019 වසරේ එල්ලවූ සහරාන්‍ගේ බෝම්බයත්, වත්මන‍හි පැතිර යන කොරෝනා වයිරස ව්‍යාප්තියත් නිසා සකළ මිනිස් වර්ගයාම සිටින්නේ ආතතියෙනි. ඒ නිසා උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුදු කිරියෙන් හා පැණියෙන් පමණක් නොව  ඊටත් වැඩියෙන් සමරන්නට උත්සාහ ගත්හ. එන්නත්කරණ වැඩපිළිවෙල හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම හේතුවෙන් අප රටතුළ කොරෝනා වයිරස ව්‍යාප්තියේ යම් අඩුවීමක් පෙන්නුම් කළද අවධානම සම්පූර්ණයෙන්ම බැහැරගියේයැයි සිතමින් සැනසුම් හෙළිය නොහැකිය. එහෙත් අප එසේ සිතුවේ නැත. 

කොහොමටත් ‍ලොව බොහෝ රටවල් මෙන්ම අප රටත් විවෘත වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්වය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අගුළුදැමූ රට නැවත විවෘතවීම ˈනව සාමාන්‍යකරණයˈ යනුවෙන් හඳුන්වනු ලැබේ. අවධානම පළානොගිය බව දන්නා නමුදු තවමත් බොහෝ දෙනෙකු නියමිත මාර්ගෝපදේශ පිළිපඳින බවක් නොපෙනේ.

විශේෂයෙන්ම පුද්ගලික ප්‍රවාහන සේවා ඒ අතරින් ප්‍රමුඛවේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රවාහන කටයුතු සිදුකිරීමට රජය පුද්ගලික බස් රථවලට අවසර ලබාදුන්නේය. ආසන ගණනට මගීන් ගෙන යායුතු නිසාවෙන් ඔවුන්ට සිදුවන පාඩුව අවම කිරීම පිණිස බස්රථ ගාස්තුද ඉහළ දැම්මේය. සමස්ථයක් ලෙස ගත්කළ පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැත. ආසන ගණනට නොව පොල් පටවන්නාසේ මගීන් පටවාගෙන යති. සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්දත් වැඩි කළ මුදලත් ඇතැම්විට ඊටත් වැඩිපුර මුදල් ලබාගනී.

ආපනශාලාවල තත්ත්වයද මේ හා සමානය. කිසිඳු මාර්ගෝප දේශයක් පිළිපඳින්නේ නැත. කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල බොහෝ ආපනශාලාවල කෑම අළවි වන්නේ අතිශයින්ම අපිරිසිදු ආකාරයටය. වෙළද සේවක සේවිකාවන් ද අන්තිම අපිරිසිදුය.

රජයද තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව වැඩ කළා මිස අවට සමාජය දෙස නිවරදි පසු විපරමක් නොකලේය. ජනාධිපතිවරයාත්, මැති ඇමතිවරුනුත් සිත්සේ ජනහමු පවත්වද්දි මහජනයාගේ සිත්තුලින්ද කොරෝනා බිය පහව ගියේය. ජනපතිගේ ඥාතිවර උදයංග වීරතුංග සංචාරකයන් මෙරටට ගෙන්වා ගනිමින් වීරයකු වන්නට දැඟළුවේය. උදයංග තමන් කියන දෙයත් අසන්නේ නැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී කීවේය. සංචාරක මණ්ඩලයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දුට පහර දෙන්නට තුට්ටු දෙකේ දේශපාලනඥයන් වන නිමල් ලාංසා පෙරට අවේ උදයංගයේ උපදෙස් මතය.

අද උදයංගත් නැත. ඔහු ගෙනා සංචාරකයනුත් නැත. ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳරත් නැ. මැති ඇමතිවරුන්‍ගේ සැණකෙලිත් නැත. ඒ සියල‍්ලෝම කුම්බලා මාළු කෑ බළළුන් මෙනි. දැන් අසරණව සිටින්නේ ජනතාවයි. ජනතාව ගැන බලන්නට දැන් කවුරුවත් නැත. ඡන්දය නැති නිසා යම් හෙයකින් ඇඳිරිනීතිය දැමුවහොත් මේ පාර බඩු මළුත් නැත.

දැන් සියල්ල සිදුවී හමාරය. මැයි දින රැළි තහනම් කිරීම හොඳ තීරණයකි. කොහොමටත් කම්කරු දිනය සමරන්නේ කම්කරුවන් නොව දේශපාලනඥයන්ය. එහෙත් ආණ්ඩුවේ බෙදීම් යටපත් කර ගැනීමට කොරෝනා යොදාගනිමින් මැයි රැළි තහනම් කිරීමට එකඟවිය නොහැකිය. ගිය වසරේ මෙන් මේ වසරෙත් මැයි දින වේදිකාවේ ගැයෙන අඳෝනාවන් මෙවරත් ඇසෙන්නේ නැති නිසා අපේ කන්වලට ඇත්තේ සනීපයකි. එය කම්කරුවාටද සනීපයකි. මේ යනවිදියට වෙසක් උත්සවය සමරන්නත් ඉඩ නොලැබෙනු ඇත.

කොරෝනා පළමු රැල්ලට ඉතා සාර්ථකව මුහුණ දෙමින් එය රන් ආකරයක් කර ගැනීමට රජය සමත්විය. එහි ප්‍රතිඵලය ලෙස 77න් පසුව පාර්ලිමේන්තුවේ උපරිම බලය වත්මන් රජයට ලැබුණි. දෙවැනි වරට කොරෝනා රැල්ලට මුවාවී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගත්තේය. ඉන්පසුව ආණ්ඩුව අයාලේ ගියේය.පසුගිය කාලයේදී රජයත් සමාජයත් මුතුරාජවෙල අභයභූමිය, විමල් - ගම්මන්පිල නිසා ඇතිවූ ආණ්ඩුවේ බෙදීම් සහ දේශපාලන කතන්දර, විෂ පොල්තෙල්, පඬුකරඳ ශාඛය, පෝර්ට් සිටිය හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධි දෙස බලමින් විටෙක ආතල් ගනමින්ද, තවත් විටෙක හඬා වැටෙමින්ද අලුත් අවුරුදු සැමරූහ.

ආතල් වැඩිවීම නිසා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් අවුරුද්දට පෙර කළ අනතුරු ඇඟවීම් අපටවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටවත් පෙනුනේ නැත. ඒ නිසා අපි දේශපාලන චොකා බයිලා අසමින් අලුත් අවුරුදු සැමරූහ. හතර වටින්ම කොරෝනා අසාදිතයන් වාර්තාවන නිසා දැන් අවුරුදු ආතල් කුඩු වෙලාය. ඒ නිසා ජනතාව පිට වැරද්ද පටවා දේශපාලනඥයන් අත් සෝදාගනු ඇත.

නීති ගෙන ආ යුත්තේ තම න්‍යාය පත්‍රයන් අනුව වැඩ සිදු නොවන විට මිනිසුන් හිර කිරීමට නොවේ. තමන්ට අවනත නොවූ තැන රජය අවසානයේදී කළේ එයයි.

ඒ නිසා මේ මොහොතේදීවත් ආර්ථික විශේඥඥයන්ගේ උපදෙස් අනුව නොව සෞඛ්‍ය විශේඥයන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

රටත් ජනතාවත් හතරගාතේ වැටෙන්නට ඔන්න මෙන්නය. මේ පාර වැටුනොත් හබක්ය. ආයෙ ගොඩ ඒමක් නැත. ආණ්ඩුව සඟවන ජනතාව දන්නා එකම ඇත්ත ඒකය.

ඒ නිසා අවසානයේදී අනාගතය උදෙසා මෙසේ ලියා තබමි.

අමුඩය ගැසිය යුත්තේ අතීසාරයට නොවේ.

දයා විජේභාහු
 
 
 


More News
...
Monday, 10 May 2021 - 15:16

අද අපිට සිදුව ඇත්තේ අග්ගලා මල්ලට සර්පයා රිංගුවා වැනි වැඩකි. අග්ගලා යනු රසවත් කෑමකි. අග්ගලා මල්ලට...   Read more

...
Tuesday, 04 May 2021 - 13:30

         මේ වනවිට කොරෝනා වයිරසයේ තුන්වැනි රැල්ල සමඟින් පොරබදන අපි එන්නත් කරන වැඩපිළිවෙල ගැන...   Read more

...
Wednesday, 21 April 2021 - 12:57

  අද අප්‍රේල් 21 වැනිදාය. අද දිනය සාමාන්‍ය දිනයක් සේ අපට දැනුනද මීට දෙවසරකට පෙර එනම් 2019 අප්‍රේල්...   Read more

දවසේ වීඩියෝව