Tuesday, 04 May 2021 - 13:30
අශ්වයා පැන ගොසිනි ?
...

        

මේ වනවිට කොරෝනා වයිරසයේ තුන්වැනි රැල්ල සමඟින් පොරබදන අපි එන්නත් කරන වැඩපිළිවෙල ගැන නැවතත් බොහොම උනන්දුවෙන් කතා කරන්නට පටන්ගෙන ඇත.

කවුරුන් කුමක් කීවද මේ වනවිට රට පුරා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් හිඟයක් මතුව ඇත. එහි ඇති බරපතලම තත්ත්වයනම් පළමු එන්නත ලබාදුන් පිරිසට දෙවැනි වරට දීමට සිදුව ඇත්තේ වෙනත් එන්නතක් වීමය. එමෙන්ම පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් බොහෝ පිරිසකට මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයිද වාර්තාවේ.

පළමුව මෙරටට ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් ඉකුත් ජනවාරි මාසයේදී ලැබුණ අතර රජය විසින් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් මිලදී ගත්තේය. එමෙන්ම රටවල් අතර එන්නත් ලබාදීමේ වැඩ පිළිවෙල කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් මාත්‍රා 264,000 ක් ද මෙරටට ලැබුණි.

වාර්තාවන ආකාරයට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාදී දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදිය යුතු කාලය තීරණය කළේ සෞඛ්‍ය අංශ බලධාරීන් නොව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගය. ඔහු ජනාධිපති‍ ලේකම් තනතුරටත්, උපදේශක තනතුරටත් සුදුසු වුවද  සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔහුට සුදුසුකම් නැති බව අපේ හැඟීමයි. ඒ සම්බන්ධයෙන් තීණයක් ගැනීමට සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් සිටියද ඔවුන් සිට ඇත්තේ නාමිකවය.

ඉන්දියාව මෙන්ම ලොව බොහෝ රටවල් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම පිළිබඳ පරීක්ෂණ සිදුකළහ. ඒ අතරින් ඉන්දියාව හැරැණවිට රුසියාව,චීනය වැනි රටවල් ඉදිරියෙන්ම සිටියහ.කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව මේ වනවිට කොවිශීල්ඩ් එන්නත නිපදවනු ලබන ඉන්දියාවේ සිරම් ආයතනයට ඉදිරි එන්නත් ප්‍රමාණය සැපීමට නොහැකිවන බව ඉතාම පැහැදිලිය. එමෙන්ම මේ වනවිට සිරම් ආයතනයේ ප්‍රධානී අදාර් පූනවල්ලා ද මේ වනවිට ඉන්දියාව හැරපියා එංගලන්තයට පැනගොස් තිබේ. ඒ නිසා තත්ත්වය අතිශයින්ම බැරූරුම් වී තිබේ.

ඒ නිසා අනිවාර්යයෙන්ම වෙනත් රටකින් එන්නත් ලබාත යුතුවේ. එවිට ලබාදිය යුතු වන්නේ එන්නත් මිශ්‍ර කරලාය. පවතින තත්ත්වය අනුව පළමුව එන්නත් ලබාගත් පුද්ගලයන්ට දෙවැනියට ලබාදෙන එන්නත සම්බන්ධයෙන් මේ වනවිට ඉතාම බරපතළ සාකච්ඡාවක් ඇති වෙලාය.

මෙහිදී කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය හැකිද යන්න මේ වනවිටත් සෙයා බලමින් සිටින බවය. එහෙත් පළමු එන්නත් මාත්‍රව දෙවනියටත් ලබාදිය යුතු බවට රජය මේ දක්වම විශ්වාස කරන බවද ඇය සඳහන් කරයි.

ලොව බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් සිටියද එන්නත් මිශ්‍රකර ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිල මතයක් එළි දක්වා නැත. ඒ නිසා අපට හිතෙන හැටියට වැඩ කරන්නට බැරිය.

සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරන ආකාරයට යම් හෙයකින් දෙවැනි මාත්‍රාව නොලැබුනහොත් කොරෝනා වයිරසයට එරෙහිව ශරීරයතුළ සම්පූර්ණ ප්‍රතිදේශ නිපදවීමක් සිදුනොවේ. යම් හෙයකින් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනයවුවහොත් ඒ තැනැත්තාට දෙවන මාත්‍රාව ලබාදිය යුත්තේ ඉන් මාසයකට පමණ පසුවය. කොහොමටත් කොවිශීල්ඩ් එන්නතේ ඵලදායිතාවය සියයට 70කි.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට අනුමත කර ඇත්තේ කොවිශිල්ඩ් එන්නත හා රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් පහ එන්නත් පමණි. චීනයේ නිෂ්පාදිත සිනෙපාර්ම් එන්නතට තවමත් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී නැත. එහෙත් මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් මෙම සිනෙපාර්ම් එන්නත ලබාදෙනු ලැබේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තුරු චීන එන්නත ලබානොදෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසා තිබේ. ඒ අනුව ඉන්දියානු එන්නත් නොලැබෙන පසුබිමක දෙවැනි එන්නත් මාත්‍රාව වශයෙන් දීමට සිදුවන්නේ ඊයේ රාත්‍රි මෙරටට ලැබුණ රුසියානු එන්නත පමණි. එහි ‍ප්‍රතිඵලය කුමක් දැයි දැන්ම කියන්නට බැරිය.

අලුත් අවුරුදු සතියේදී සංචරණ සීමා පැනවීම හෝ රට ලොක්ඩවුන් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියද එවැන්නක් සිදු නොවුණි. දැන් මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සමඟ සිටින ඡායාරූපක් අන්තර්ජාලයේ පළකරමින් ඔහුට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත්වේ. රාජ්‍ය නිළධාරීන් වුවත් ඔවුන්ට පුද්ගලික දේශපාලන මතවාදයන් තිබිය හැකිය. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දේශපාලනයට ගැරහීම නොව අදාළ කේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඔවුන්ට ඇති දැනුමින් වැඩක් ගැනීමයි.  නිදහසින් පසු අපේ රටේ සිදුනොවුනෙත් ඒකමය.

කොරෝනා පළමු රැල්ලට ඉතා සාර්ථකව මුහුණ දෙමින් එය රන් ආකරයක් කර ගැනීමට රජය සමත්විය. එහෙත් දෙවැනි හා තුන්වැනි වර රජය අසමත් විය. එහි වරද ජනාධිපතිවරයාගේ සිට පහලම රාජ්‍ය සේවකයා දක්වාම එක ලෙස පැටවේ. පළමු වැරැද්ද සෞඛ්‍ය නිළධාරීන්ගේ අභිමතයට නොව තමන්ට අවශ්‍ය ආකාරයට රාජ්‍ය නිළධාරීන් වැඩ කරන්නට යෑමය. දෙවැනි වරදි සෞඛ්‍ය නිළධාරීන්ට නොව ආර්ථික ඔස්තාර්ලාට ඇහුම්කම් දෙමින් වැඩ කරන්නට යෑමය. දැන් සියල්ල අනාගෙනය. අශ්වයා පැන ගොස් ඇති බැවින් ඉස්ථාලය වසා ඵලක් නැත.

ඉන්දියාවත් මේ ලෙසම ආතල් ගත්තේය. සෞඛ්‍යඅංශ රට වසාදමන ලෙසට කීවද මෝදි එයට ඇහුම්කන් නොදී මැතිවරණ පැවැත්වූයේය. ජනතාව ඔක්සිජන් ඉල්ලා මහමඟ යදින විට මෝදි පාලනය දැවැන්ත මැතිවරණ රැළි පැවැත්වූයේය. ප්‍රථිඵළය ජනතාව මෝදි පාලනය ප්‍රති‍ක්ශේප කිරීමයි. දැන් මෝදි තක්කු මුක්කු වෙලාය. කරගන්නට දෙයක් නැත. ජනාතාවගේ නායකයකු වූ මෝදි ජනතාවගේ සෙරෙප්පු පාර කන තුට්ටුදෙකේ පාලකයකු බවට ඔහු පත්වෙලාය.

ව්‍යවස්ථානුරූපීව මෙම වසර අගදී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය. ලබන වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය. මෙම වසර කෙසේ වෙතත් ලබන වසර අනිවාර්යයේනම මැතිවරණ වසරකි. දැන්වත් ජනතාවගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ හඬට කන් නොදුනහොත් අපේ රජයටත් සිදුවන්නේ ඉන්දියාවේ මෝදිට සිදුවූ දෙයය. ජනතාවගේ ඇඟිල්ල දැන් දැන් එසවෙන්නට පටන් ගත්තත් තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාවට එපාවෙලා නැත. හරිය ගේමක් ගසන්නට ඔහුට තවමත් කල්වේලා තිබෙන බව අපේ හැඟීමයි. ඒ නිසා දැන්වත් නිවරදි තීන්දු තීරණ ගත යුතුය.

ප්‍රහාරයක් එල්ලවන බවට ආරක්ෂක අංශ 97 වතාවක් යහපලන ආණ්ඩුවට දැනුම්දී තිබුණද බෝම්බය පත්තුවනතුරුම ඔවුන් නිහඬව බලා සිටියහ. අවසානයේ විශාල පිරිසක් ජීවිතවලින් වන්දි ගෙවූහ. බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය මෙරට පැතිරෙන බව සෞඛ්‍ය අංශ රජයට දැනුම් දෙන්නේ පසුගිය 8 වැනිදාය. එහෙත් රජය කිසිඳු පියවරක් ගත්තේ නැත. දැන් එකිනෙකට ඇඟිල්ල දිගුකර වැඩක් නැත. සුදුසු පියවර ඉක්මනින්ම ගත යුතුය.

දයා විජේභාහු.  
 
  


More News
...
Monday, 10 May 2021 - 15:16

අද අපිට සිදුව ඇත්තේ අග්ගලා මල්ලට සර්පයා රිංගුවා වැනි වැඩකි. අග්ගලා යනු රසවත් කෑමකි. අග්ගලා මල්ලට...   Read more

...
Friday, 23 April 2021 - 15:16

      මීට දශක දෙකකට පෙර එවකට තරුණ පරපුර අතර අතිශයින්ම ජනප්‍රිය ගායකයන් දෙපළ වූයේ අජිත් මුතුකුමාරණ...   Read more

...
Wednesday, 21 April 2021 - 12:57

  අද අප්‍රේල් 21 වැනිදාය. අද දිනය සාමාන්‍ය දිනයක් සේ අපට දැනුනද මීට දෙවසරකට පෙර එනම් 2019 අප්‍රේල්...   Read more

දවසේ වීඩියෝව