Tuesday, 04 May 2021 - 15:14
ජනතාව අනතුරට හෙලීමේ වගකීම ආණඩුව බාරගත යුතුයි
...
කොවිඩ් වසංගතය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර ජනතාව අනතුරට හෙලීම පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව තමන්ගේ ආර්ථික වාසි සකස් කිරීම පිළිබඳ න්‍යාය පත්‍ර සකස් කිරීම මිස ජනතාවගේ ආරක්ෂාව, ආර්ථිකය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය.

    "කොරොනා වසංගතය ව්‍යාප්තියත් සමඟ අපේ රට විශාල අර්බුදයකට තල්ලු වෙලා තියෙනවා. එක පැත්තකින් මේ වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී අනික් පැත්තෙන් රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක රටක් විදියට අපි ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා.

අද වන විට කොවීඩ් පාලනය ආණ්ඩුවෙන් ගිලිහිලා කියන තත්ත්වයට පත්වෙලා තියනවා. කොවීඩ්   පාලනයේදී ආණ්ඩුව දේශපාලනික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා රට අවදානම් තත්ත්වයකට පත්විය හැකියි කියලා විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය  පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දිගින් දිගටම පෙන්වලා දුන්නා. ආණ්ඩුව ඒ කිසිවකට කන්දුන්නේ නැහැ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ  විදියට අපි කළ ඉල්ලීම් පමණක් නොවෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිස  ලබාදෙන උපදෙස් පවා අද ආණ්ඩුව පිළිගන්න සූදානම් නැහැ.

පහුගිය කාලේ දිගින් දිගටම ආණ්ඩුව මේ කොවීඩ්  අවදානම සැලකිල්ලට ගත්තේ නැහැ. මේ හේතුවෙන් සිදුකරන පී. සී. ආර් පරීක්ෂණ ප්‍රමාණයත් අඩු කලා. පී. සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීමත් එක්ක ආණ්ඩු යම්කිසි විදියට කොවීඩ්  පාලනය කළා කියන එක රටට පෙන්නන්න උත්සාහ කළා.

ආණ්ඩුව එවැනි චිත්‍රයක් පෙන්වීම තුළ මේ රටේ ජනතාව අතර කොරෝනා වසංගතය පිළිබඳ තිබූ ඒ බිය, අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති රීති ක්‍රමක්‍රමයෙන් ජනතාව අතහරින්න පටන් ගත්තා. මොකද ආණ්ඩුව ඉහළ ඉදන් පහලට ආදර්ශයක් ලබා දුන්නේ නැහැ.

සෞඛ්‍ය නීති-රීති රෙගුලාසි වලට හාත්පසින්ම වෙනස් විදියකට තමයි ආණ්ඩුව කටයුතු කළේ. ජනාධිපතිතුමා ගේ ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී වත් අඩුම තරමෙන් සෞඛ්‍ය සිදු කළේ නැහැ.

උත්සව තහනම් කරන්න ඕන ඒවායේ සෙනග සීමා කරන්න ඕන කියලා කෝවිඩ් කමිටුව තීරණයක් ගත්තා. ඒ තීරණ ගන්න ගමන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු විවාහ මංගල උත්සවයට ගිහිල්ලා සෙනග එක්ක පින්තූර දාලා ඒවා පළ කරනවා. කොරෝනා කාර්ය සාධක බලකාය ගෙන එන රෙගුලාසි ආන්ඩුවේ උදවියම පිළිපදින්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු එ්වා සත පහකට ගනන් ගන්නේ නැහැ. ඒවා ගණන් නොගෙන පොලිසිය දාලා හමුදාව දාලා බලහත්කාරයෙන් ජනතාවට මේ නීති පළ පදින්න කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා.

පහුගිය කාලේ යුක්‍රේනය වගේ රටවලින් සංචාරකයන් ගෙන්නුවා. දැන් ඉන්දියානු ජනතාවට මේ රටට ඇවිල්ලා කොරන්ටයින්  වෙන්න අද වන විට අවසර ලබා දීලා තියෙනවා. මේක තවත් අර්බුදයක් බවට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපේ රටේ කොරෝනා වසංගතය දවස ගානෙ වැඩි වෙන තත්ත්වයක් අපට පේන්න තියෙනවා. දිනකට කොරෝනා ආසාදිතයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට ලන්වෙමින් තිබෙනවා. මරණ සංඛ්‍යාව දිනකට 10 ඉක්මවමින් යනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දීය ජාතිකයන්ට ලංකාවට ඇවිල්ලා කොරන්ටයින් වීමේ අවස්ථාව ලබා දීම තුළ තව තවත් මෙය පැතිර වීමේ අවධානම ඉහල යනවා. මෙච්චර අවදානම් තත්වයක් තියෙද්දී ඇයි මේ වගේ තීරණ ගන්නෙ කියලා අපි දන්නේ නැහැ.

ඉන්දියාවේ අද සිදුවී යන විනාශය ගැන අපට පේන්න තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඉන්දීය ජනතාව ලංකාවට ගෙනල්ලා අපේ රට කොරන්ටයින් හබ් එකක් කරන්නද මේ හදන්න කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

මෙවැනි අවදානම් තත්ත්වයක් අපේ රටට ඇති වෙලා තියෙද්දි ඒ අවදානම් තත්ත්ව පවා සැලකිල්ලට නොගෙන ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ අපි කණගාටු වෙනවා.

මේ ආණ්ඩුවේ පිරිස් වලට යම් යම් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගැනීම සඳහා රටේ ජනතාවගේ ජීවිතත් එක්ක මේ ආණ්ඩුව සෙල්ලම් කරනවා කියලා තමයි අපට පේන්න තියෙන්නේ.

ආණ්ඩුව මුල ඉඳන්ම මේ කොරෝනා වසංගතයේ අවදානම හදුනාගෙන කටයුතු කළේ නැහැ. රටේ ජනතාවට කොවීඩ් එන්නද දීලා ජනතාව මේ වසංගතයෙන් මුදා ගන්නවා වෙනුවට ආණ්ඩුව අවිද්‍යාව පසුපස ගමන් කළා. එහි ප්‍රතිඵල අද රටේ ජනතාවට භුක්ති විඳීමට සිද්ධ වෙලා තියෙනවා.

අපි අපේ රටේ ජනතාව ආරක්ෂා කරගත යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට විපක්ෂය විදිහට අපි සූදානම්. දැන්වත් මේ සියල්ල පසෙක දමා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳ මීට වඩා දීර්ඝ වශයෙන් සංවාද සිදුකල යුතුයි. අද ආණ්ඩුව ඒ එකක්වත් ගැන හිතන්නේ නැතුව කඩිමුඩියේ මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුවට මොකක්ද මේ පනත සම්මත කරගන්න තියෙන හදිස්සියේ කියලා අපි විමසනවා.

චීන ආරක්ෂක ඇමති හදිසියේම ඇවිත් මේ රජයත් එක්ක සාකච්ඡා කළා. දැන් හෙට අනිද්දා චීන විදේශ ඇමති ලංකාවට එනවා. ඒ බලපෑම් මත ද මේ පනත හදිසි කරන්නේ කියලා අපි ආණ්ඩුවෙන් විමසා සිටිනවා" යැයිද ඔහු එහිදී පැවසීය.


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව