Tuesday, 11 May 2021 - 9:45
ජනතාවට සිදු වෙන්නේ සුසාන භූමියක් තෝරා ගන්නයි
...
රට සති දෙකකට හෝ අගුලු දමා කොරෝනා රෝග පාලනයට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක නොකළහොත් රටේ ජනතාවට සිදුවන්නේ තමන්ට සුදුසු සුසාන භූමියක් තෝරා ගැනීමටයැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

සෞඛ්‍ය අංශවල උපදෙස් සියයට සියයක් පිළිපැදිමින් තමන්ගේ ආරක්ෂාව තමා විසින්ම සපයා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රංගේ බණ්ඩාර මහතා කීය.

තවදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා:-

ආණ්ඩුව කොරෝනා  පාලනය මුල සිටම වරද්දාගෙන තිබුණා .මෑත කාලයේ ඇතිකරගත් බරපතළ වරද වන්නේ කොරෝනා  පැතිරෙමින් තිබියදී ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙනැවිත් ක්‍රිකට් ගැසීමයි. බ්‍රිතාන්‍ය වෛරසය ලංකාවේ පැතිරෙන්නේ ඒ ක්‍රීඩකයන්ගේ මාර්ගයෙන්  බව දැන් තහවුරු කරගෙන තිබෙනවා.

අනෙක් අතට සංචාරක ව්‍යාපාරය නංවන්න කියා යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගත්තා. ඒ අයගෙන් බහුතරයක් ද කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගත්තා .ඉන්දියාවේ බරපතළ ලෙස කොරෝනා පැතිරෙමින් තිබියදී ඉන්දියන් ජාතිකයන් ද මෙරටට ගෙන්වා ගත්තා.

එයින් තත්ත්වය තවත් උග්‍ර වුණා. එමෙන්ම බරපතළ එන්නත් ප්‍රශ්නයකට රට ඇද දමා තිබෙනවා. ඉන්දියාවෙන් ගෙන්වාගත් එන්නත් මාත්‍රා ලක්ෂ 12 හැරුණු විට චීන සහ රුසියානු  එන්නත රටට ලැබෙන තෙක් එන්නතක් ගෙන්වාගැනීමට ආණ්ඩුව අසමත් වුණා.

මේ අර්බුද රාශිය අතරේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු කර තිබෙනවා. ප්‍රමාණවත් පී.සී.ආර් කට්ටල රජය සතුව නැති වීම ඊට හේතුවයි.මෙි කරුණු  වැරදි නම් නිවැරදි දත්ත රටට හෙළි කරන්න. රජය සතුව ඇති පී.සී.අර් කට්ටල ප්‍රමාණයත් ඇනවුම් කර තිබේ නම් ඒ කාරණයත් රටට හෙළි කරන්න. රජයේ වගකිව යුතු නිළධාරියෙක් මේ සම්බන්ධයෙන් හරි තොරතුරක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

තත්වය එන්න එන්නම බරපතළ වෙමින් තිබෙනවා.පී.සී.ආර් පරීක්ෂණ කරන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පොසිටිව්  වෙමින් තිබෙනවා. ඒ අනුව රෝග ව්‍යාප්තිය රට පුරා ඔඩු දුවා තිබෙනවා .මේ පිළිබඳව ගත යුතු එකම පියවර වන්නේ රට සති දෙකකට අගුළු දැමීමයි. එය අසීරු තීරණයක් වුවත් ජනතාවගේ ජීවිත වෙනුවෙන් ගත යුතුව තිබෙනවා .රට ආර්ථික ආගාධයකට පත් වනවාට වඩා බරපතළ පිපිරීමක් එවැනි තීන්දුවක් නොගත්තොත් ඇතිවිය හැකියි.

රට එවැනි තත්ත්වයකට පත්නොකර කඩිනම් තීන්දු ගෙන ජන ජීවිතය ආරක්ෂා කරන්න අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් රටේ ජනතාවට සිදුවන්නේ තමන්ට සුදුසු සුසාන භූමියක් තෝරා ගැනීමටයි. නැතිනම් තම ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීමයි .මේ දෙක හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැහැ.

ආණ්ඩුවේ අත්තනෝමතික නොහික්මුණු සැලසුම් සහගත නැති ක්‍රියා නිසා රට බරපතළ තත්ත්වයකට පත්ව තිබෙනවා. ආණ්ඩුව මුල සිටම පැණි පස්සේ දුවමින් සිටියා .විද්‍යාව පසුපස දුවනවා වෙනුවට මිත්‍යාව පස්සේ දිව්වා. විකාර කළා .අද ජනතාවට භුක්ති විඳින්නට සිදුව තිබෙන්නේ ආණ්ඩුව මිත්‍යාව පසුපස දිවීමේ ප්‍රතිඵලයයි.

මේ රටේ වගකිව යුතු පුද්ගලයන් පවා ධම්මික පැණිය පාවිච්චි කර එය ප්‍රවර්ධනය කළා. සෞඛ්‍ය බලධාරීන් පවා මේ පැණිය ප්‍රවර්ධනය කළා. මේ මනස්ගාත වලින් ජනතාව මුලා වුණා. මේ කටයුත්ත සඳහා සමහර මාධ්‍ය ආයතනවල ආශිර්වාදය ලැබුණා. එයත් කැලණි ගඟෙන් නාග ධාතු මතු වුණා වගේම වැඩක්.

තමන්ගේ ආරක්ෂාව තමන් ම සපයා ගන්නා ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න බැරි නම් අනුන් වෙනුවෙන් හෝ සිතා ආරක්ෂා වන්න. අනවශ්‍ය සංචරණ නිසා රෝග ව්‍යාප්තිය වැඩි වෙමින් තිබෙනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් සියයට සියයක් පිළිපැදීම ජනතාවගෙත් වගකීමයි .එසේ නැතිනම් අපේ රටක් ඉන්දියාව වැනි මහා ව්‍යසනයකට ඇද වැටෙනවා නොඅනුමානයි. 


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo