Wednesday, 12 May 2021 - 13:32
ගේම් එක ප්ලේ කිරීම
...
කොරෝනා වයිරසය පරාජය කිරීමට අපේම ක්‍රමවේදයක් එනම් දේශීය ක්‍රමවේදයක් සොයගත යුතුය යන මතය මුලින්ම කරලියට එන්නේ ඉකුත් වසරේ මුල් කාර්තුවේදීය. එවිට මුළු රටම ලොක්ඩවුන් කර තිබූ අතර මහා පරිමාණයෙන් ආසාදිතයන් මෙරටින් වාර්තාවීමට පටන්ගෙන තිබුණි.

මේ අතර වාරයේදී කොරෝනවට එරෙහිව බේත් හොයගත් වෙද්දුන් වැසි වසින්නට පටන් ගත්තේය. තමන්ට වයිරසය හදා ගන්නට ඉඩ දෙන ලෙසත් ඉන් පසුව තමගේ බේත් පානය කිරීමෙන් තමන් සුවවී පෙන්වන බවටත් මේ වෙද්දුන් පාරම් බෑවා අපට මතකය.

එහෙත් ගොඩගියේ ධම්මික කපු මහතා පමණි. ඔහු ජනතාව පමණක් නොව සෞඛ්‍ය ඇමතිවරියත්, කතානායක ඇතැළු මුළු පාර්ලිමේන්තුවත් ඇන්දවීමට තරමේ වැඩ කාරයෙකු විය. අග්‍රාමාත්‍යවරයගේ පුද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් දුන් කළගෙඩිද ගංඟාවලට අතහැරියේ මේ කල්ලියයි.

කොරෝනා වයිරසය පරාජය කිරීමට අපේම ක්‍රමවේදයක් සෙවීමේදී ‍රජය සහ බලධරයින් විද්‍යාව අතහැර මිත්‍යාව පස්සේම දිව්වේය. ඉන් සිදුවූයේ අපටම කෙලවීම පමණි.දැන් තුන්වැනි කොරෝනා රැල්ල රට වෙලා ගනිද්දි රජය කියන්නේ කොරෝනාවට ඇති එකම විසඳුම එන්නත් කරණය පමණක් බවය.

ධමිමකගේ පැණිය බී ආසාදිතයකු බවට පත්වූ සෞඛ්‍ය ඇමතිනීයත් දැන් කියන්නේ එකය.ඉන්දියාවේ අලහබාද් අධිකරණය කොවිඩ් රෝගීන් ඔක්සිජන් නැතිව මියයාම අපරාධ වරදක් ලෙස අර්ථකථනය කර තීන්දුවක් ලබාදී තිබේ.

එවිට අපරාධ වරදකරු ඉන්දීය රජයයි. අපේ රටේ නායකකාරකාදීන් ධම්මික පැණිය බී, මුට්ටි දමා නැටූ පිස්සුව අධිකරණයට ගෙන ගියහොත් එය කවර තත්ත්වයක් ලෙස අර්ථකථනය කැරෙනු ඇද්ද ?

මිත්‍යා මතවාදයන් පිටුපස දිව ගිය භාරතය අද කඳුල වපුරා මරණය අස්වද්දන නූතන විසාලා මහනුවරක් බවට පත්ව ඇත. එරට ජනයා කොරෝනාව ඉදිරිපිට අභය දානය ඉල්ලා වැඳ වැටේ. ඉන්දියාවට ආසන්න අපේ රටේද දැන් නිර්මාණය වෙමින් තිබෙන්නේ එවන් තත්ත්වයකි.

මහමඟ මිනිසුන් මිය නොගියත්, මේ වනවිට රටේ සියළුම රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ‍ගොසිනි. රෝහල්වල සිදුකෙරෙන්නේ අත්‍යාවශ්‍යම ශල්‍යකර්ම පමණි. ඒ අනුව බලන කල නිදහසේ හුස්මක් ගන්නටත් බිය උපදවන බියකරු සමාජ වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ.  

ඒ නිසා කොරොනාවට ඇති එකම විසඳුම එන්නත්කිරීම පමණක් නම්, එය වේඟයෙන් සිදුවිය යුතුය. කොරෝනා වයිරසය යනු ඉන්ෆුවන්සා වර්ගයේ වයිරසකි.

මෙය දවසින් දවස හැඩය වෙනස්කර ගනී. ඇඟට ඇතුළුවන මෙම වයිරසය අපේ ඇඟ තුල වැඩෙන්නේ වෙනස් ආකාරයකටය.

ඒ නිසා මෙය දරා ගැනීමට නොහැකිව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අයාලේ ගමන් කිරීමට පටන් ගනී. ඒ නිසා එන්නතට අමතරව මෙයට ඇති හොඳම ඖෂධය නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමවේදයන් පිළිපැඳීමයි.

සෞඛ්‍ය නිර්දේශයන් පිලිපැදීමේදී යම් යම් ප්‍රදේශ හුකකලා කිරීම් සිදුවේ. ප්‍රදේශයක් හුදකලා කිරීම යනු එම ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්වීමයි. ඒ ගැන විවාදයක් නැත.

එහිදී මගේ ජනතාවට පිහිටවීමට මට අයිතියක් ඇත යන්න ප්‍රකාශ කරමින් සෞඛ්‍ය විශේෂඥයන් තඹේකට මායිම් නොකරන ගාමිණි ලොකුගේ වැනි තක්කඩි දේශපාලනඥයන් මෙන්ම උදයංග වීරතුංග වැනි උද්ධච්ඡ ඥාති මිත්‍රාදිනුත් පාලනය කිරීමට ජනාධිපතිවරයා දැන්වත් ඉදිරි පාදය පෙරට තැබිය යුතුය.

දැන්වත් සුදුසු දේවල් නියමිත වෙලාවේදී කළ යුතුය. බුද්ධිමත් තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දෙවරක් කල්පනා කළ යුතු නැත. ජනතව නැවතත් රජය ගැන විශ්වාසය තබා සිටී. ඒ විශ්වාසය බිඳ වැටීම යනු රජයේ දේශපාලන අයුෂ අවසන්වීමයි. ඒ ගැන ඉදිරි මැතිවරණවලදී ජනතාව සලකා බලනු ඇත.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ රජය තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලනිකව නොව සෞඛ්‍ය අංශ මෙන්ම ඒ හා සබැඳි අනෙකුත් අංශ ලබාදෙන නිර්දේශයන්ට අනුවය.

රටේ අද දවස කුමක්දැයි යන්න අපි දනිමු. එහෙත් රටේ හෙට දවස ගැන ඇත්තේ ප්‍රශ්නාර්තයකි. එය අන්ඳකාරයෙන් පිරී පවතී. ඒ නිසා දැන් අවශ්‍ය රටේ හෙට දවස ගැන නිවරදි පෙරවදනකි. යුද නිමාවේ 11 වැනි සංවත්සරය සමරන්නට ඔන්න මෙන්නය.

උණ්ඩයෙන් හා බෝම්බයෙන් භීතිය වැපුරුණ සමාජය අද ඇසට නොපෙනෙන වයිරසයකින් භීතියට පත්ව ඇත. හෙට දවසේ අපේ මරණය කෙසේ වේදැයි කියන්නට අප දන්නේ නැත.
මරණ අභියස ජීවිතය ඉල්ලන සමාජයක ආතල් ගත්තා දැන් ඇතිය.සමාජයට මරණය වෙනු‍වට ජීවිතය දිය යුතුය.

එසේ වන්නට නම් මේ ගේම් එක නියම විදියට ප්‍ලේ කරගත යුතුය. එහෙම වුනොත් ගාමිණි ලොකුගේ, උදයංග වීරතුංග, නිමල් ලාංසලා වීසිවී ගොස් නියම විරුවන් උඩට එනු ඇත. ඒ කියන්නේ ගේම ගොඩය. මේ ගේම හරියට ප්ලේ කරගත්තොත් රටත් ගොඩය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවත් ‍ගොඩය.

 දයා විජේභාහු
 
 
 


More News
...
Friday, 04 June 2021 - 18:10

සත්‍යසැමදා බොරුවෙන් වසා තැබිය නොහැක. හුදු ලාභ ප්‍රයෝජන , ඩොලර් කුට්ටි, ටොක් ෂෝ වලට යටවී නොයෙක්...   Read more

...
Wednesday, 19 May 2021 - 12:51

                        වසර 2009 මැයි 19 වන දින උදෑසන නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර අසල තිබූ...   Read more

...
Monday, 17 May 2021 - 13:45

විශ්වය ජය ගත්තද මිනිසාට ස්වභාව ධර්මය ජය ගැනීමට කවදාවත් හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා ස්වාභාවික...   Read more

දවසේ වීඩියෝව
logo