Monday, 17 May 2021 - 13:45
අකුණු පහර
...
විශ්වය ජය ගත්තද මිනිසාට ස්වභාව ධර්මය ජය ගැනීමට කවදාවත් හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා ස්වාභාවික ආපදා යනු නොවැළැක්විය හැකි ස්වාභාවික තත්ත්වයකි. අතිශයින්ම දියුණු ඇමරිකා එක්සත් ජනපදය, චීනය මෙන්ම එතරම් නොදියුණු බංග්ලාදේශයට මෙන්ම ඉතියෝපියාව වැනි රටවලටද මේ ස්වාභාවික ආපදාවන්වලට මුහුණ දීමට සිදුවීම අරුමයක් නොවේ.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ දියුණු, නොදියුණු බව තුළ නොව එම ස්වාභාවික ආපදාව කළමණාකරණය කර ගැනීමට එම රට දක්වන දක්ෂතාවය පිළිබඳවය. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නුවරින් ඇරඹි ඉකුත් වසරේදී ලොව ආක්‍රමණය කළ කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට දියුණු ඇමරිකා එක්සත් ජනපදයට නොහැකි විය.

එහෙත් ලංකාව ඇතුළු බොහෝ රටවල් පළමු වටයේදී කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සමත්වූහ.

පසුගියදා අරාබි මුහුදෙන් ආරම්භවූ සුළි කුණාටුව ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටත් තවත් රටවල් කිහිපයකටත් දැඩි බලපෑම් කළේය. ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් කොරොනා වයිරසයෙන් උපරිමයෙන් බැට කමින් සිටින මොහොතක කඩා වැටුණු මේ ස්වාභාවික විපත සුළු කොට තැකිය නොහැකිය.

කොවිඩ් වසංගතයෙන් බැටකන සමස්ත ජනතාවටත්, නායයෑම් හා ගංවතුරින් පීඩාවටපත් ජනයාටත් දැන් සහන සැලසිය යුතුය. යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. මේ සියල්ලම මනාව කළමණාකරණය කරගත යුතුය. නැතහොත් සිදුවන්නේ ප්‍රශ්න එකපිට එක වැඩිවීමය.

කොරෝනා වයිරසයටත්, ස්වාභාවික ආපදාවලටත් මුළු රටේම අවධානය යොමුව පවතිද්දි ආණ්ඩුව තවත් වැඩකට කඩිමුඩියේ සූදානම්වේ. ඒ උත්සාහයනම් වරාය නගරය හෙවත් පෝර්ට්සිටි පනත කෙසේ හෝ සම්මත කර ගැනීමය. වරාය නගරය හෙවත් පොර්ට්සිටිය යනු අපේ භූමියට අලුතින්ම එකතුවන භූමියයි.

එහෙත් මෙම නව භූමිය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මේ වනවිටත් ඇතිව ඇත. ඉන් ප්‍රධානම ප්‍රශ්නය නම් මෙම භූමියේ අයිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවයි. මැති ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කළද රජය තවමත් ඒ සම්බන්ධයෙන් නිල මතයක් ප්‍රකාශ කොට නැත.

ආණ්ඩුව මුලින්ම සූදානම් වූයේ මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිටවන්නටත් කලින් පනත සම්මත කර ගන්නටය. එහෙත් එය හරිගියේ නැත. රට ඇතුළේ විශාල ව්‍යසනයක් තියෙද්දී ඒ තත්වය පාවිච්චි කරලා තක්කඩිකමට මේ පනත සම්මත කරගන්න ආණ්ඩුවට ඇති තදියම කුමක්දැයි අපට තේරෙන්නේ නැත. අඩුම තර‍මේ මෙම පනත කුමක්ද යන්න ජනතාව අතර සංවාදයකට ලක්ව නැත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට සූදානම්වීමේ සිට ආණ්ඩුව කළේ ආණ්ඩුවක් ලෙස හිමි රාජකාරිය වෙනුවට අඬදබරවල පැටලීමය. ඒ වැදුණු මඩ යළි කල්ප කාලාන්තරයකට සෝදා හැරීමට හැකි වන්නේ නැත. මේවායේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම්ද එක පිට එක එළියට ආවේය. අලුත් ආණ්ඩුවක දිගු ගමනකට මේවා සුබ ලකුණු නොවේ.

ආණ්ඩුවට එරෙහිව සිටි පිරිස්වලට මේ ඉතා හොඳ ආයුධයක් ද විය. ඡන්දයක් පෙනෙන තෙක් මානයක නැතත් මැතිවරණයකදී වත්මන් ආණ්ඩුවේ ඉරණම ලියවෙන ප්‍රධාන සාධකය මේ පෝර්ට්සිටියයි. එකපැත්තකින් කොරෝනාය. අනෙක් පැත්තෙන් පෝර්ට් සිටියයි. අනෙක් දෙපස චීනය හා ඉන්දියාව සිටී.

ඒ නිසා ආණ්ඩුව දැන් සිටින්නේ සිව්මංසලකය. මේ කොන් හතරම එක සීරුවට ගිණි ගනී. වරෙක චීනය දෙසටත් වරෙක ඉන්දියාව දෙසටත් ආණ්ඩුව දුවයි. ඒ අතරට කොරෝනාවද එබෙමින් ආණ්ඩුව බියට පත්කරයි.

කොළඹ වරාය නගරය පිළිබඳ අදහස මුලින්ම එන්නේ ජේ.ආර් ජයවර්ධන යුගයේය. මෙය කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේම දිගුවකි. කෙසේ වෙතත් කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී එයට ආයෝජනය කරන්නට අවස්ථාව ලැබුනේ චීනයටය.

චීන ජනාධිපතිවරයාම ලංකාවට පැමිණ ගිවිසුම් අත්සන් කිරීම තුලින්ම මෙම භූමියේ ඇති වැදගත්කම පිළිබඳව අපට යම් අදහසක් මවාගත හැකිය. කෙසේ වෙතත් මෙම ගනුදෙනුවේ අක‍්‍රමිකතා ප‍්‍රශ්නය හා පාරිසරික සාධක නොතකා හැරි එම ආදි ගැටලූ පසෙකින් තබා කතා කළ ද මෙය අද විශාල රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

චීනය ලෝක ආර්ථිකය ජයගන්නට යන ගමනේදී කොළඹ වරාය නගරය ප්‍රබලතම බලකණුව යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඒ නිසාම ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය වැනි රටවල්ද මෙයට බැල්ම හෙලයි. මේ එකක්වත් ප්‍රතික්ශේප කළ හැකි තත්ත්වයක අප නැත.

ඉන්දියාවට චීනය සමඟ ඓතිහාසික ගැටුමක් ඇත. ඒ නිසා ඉන්දියාව  මෙම ව්‍යාපෘතිය දෙස බලන්නේ සැකයෙනි. අපට මේ ගැටුම විසඳා ගන්නට සිදුවන්නේ ඉන්දියාවේ ඇණුම්පද හා කෙනෙහිලිකම් මැදය. මේ රටවල් දෙකෙන් එකක්වත් තරහ කරගනිමින් අපට ගමනක් යා නොහැකිය. ඒ නිසා දෙපාරක් නොව මේ ගැන අප සියදහස් වරක් කල්පනා කර බැලිය යුතුය.

එහෙත් චීනය මේ වන විට මෙරට ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබලයන් ගණනාවකටම වරින් වර සුඛාස්වාදයෙන් යුතු චීන සංචාර ලබා දී තිබේ. එමෙන්ම චීන රජයේ ඉහළම නියෝජිතයෝද ළඟ ළඟම මෙරටට පැමිණ සතරකන් මන්ත්‍රණවල යෙදිණ. ඒ මිත්‍රසමාගම දැන් දළු ළා වැඩී ඇත. මෙම රජයට පමණක් නොව  චීන රජය පසුගිය ආණ්ඩු සමයේ දී ද ආණ්ඩුවේ නියෝජිතයන් සිය ගණනකට චීන සවාරි ලබා දී තිබිණි.

මේ සම්බන්ධයෙන් යම් විමසා බැලීමක් සිදු කිරීමට තරම් කාලය අපට ඉඩ දී නොමැති වූවත් මේ අර්බුදය විසඳා ගන්නතාක් කල් රටේ ආර්ථිකයට කෙළින් සිට ගන්න නම් වන්නේ නැති බව පැහැදිලිව සටහන් කර තැබිය හැකිය.

ඌරාගේ බඩගින්න පිරිමැහෙන්නේ කුණු රසයෙනි. රස මසවුළු සොයාගෙන යාම ඌරාට ගැළපෙන්නක් නොවේ. තමන්ට හිමි රාජකාරිය පසෙකලා වෙනත් අඬදබරවල පැටලෙන්නට ගිය විටත් ආණ්ඩුවකට වෙන්නේ අහක තියෙන මඩ කන්නටය.

එහි අරුතනම් 69 ලක්ෂයක් ඡන්ද හිමිවූ රජය ඉතාම ඉක්මනින් පිරිහෙන බවය.

දයා විජේභාහු.
 
 


More News
...
Friday, 04 June 2021 - 18:10

සත්‍යසැමදා බොරුවෙන් වසා තැබිය නොහැක. හුදු ලාභ ප්‍රයෝජන , ඩොලර් කුට්ටි, ටොක් ෂෝ වලට යටවී නොයෙක්...   Read more

...
Wednesday, 19 May 2021 - 12:51

                        වසර 2009 මැයි 19 වන දින උදෑසන නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර අසල තිබූ...   Read more

...
Wednesday, 12 May 2021 - 13:32

කොරෝනා වයිරසය පරාජය කිරීමට අපේම ක්‍රමවේදයක් එනම් දේශීය ක්‍රමවේදයක් සොයගත යුතුය යන මතය මුලින්ම...   Read more

දවසේ වීඩියෝව
logo