Wednesday, 19 May 2021 - 12:51
ලේවල බර
...
                       
වසර 2009 මැයි 19 වන දින උදෑසන නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර අසල තිබූ කඩොල් කැලය තුළදී මා අණදුන් 53 වන සේනාංකයේ සෙබළුන් කොටි ත්‍රස්තවාදීන් සමඟ ඇතිවූ අවසන් සටනේදී කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය ගියේය. ඒ සමඟම මුහුදු කොටි නායක සුසේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රාශියක්ද මරු වැලඳගත්හ. එහිදී ඇතිවූ අවසාන වෙඩි මුරය 30 වසරක් පුරා දිවුණු දීර්ඝ ඊලාම් යුද්ධයේ අවසානය සනිටුහන් කරනු ලැබීය....  '

                                              රණමඟ ඔස්සේ නන්දිකඩාල්
                                         මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

ප්‍රභාකරන් මැරිලා... ආරංචිය සැමදෙනාගේම මුවග සටහන් වුයේ 2009 මැයි 18 වැනිදා සන්ධ්‍යාව වනවිටය. නමුත් එය නිල වශයෙන් නිවේදනය කෙරුනේ ඊට පසුදින එනම් 2009 මැයි 19 මධ්‍යාහ්නය වනවිටය. එතෙක් නිදහසේ හුස්මක් ගන්නට බැරිව හුස්ම හිරකරන් සිටි ජාතියක් නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තේ ඉන් පසුවය. මේ උදාවන්නේ එල්.ටී.ටී.ඊ පරාජයේ 12 වැනි සැමරුමයි. සරළව කියතොත් ජාතියේ දෙවැනි නිදහස් සැමරුමයි. හැම රටකටම එවැනි සැමරුම් දෙකක් උදාවන්නේ නැත.

ඊළම දිනා ගැනීමට වේළුපිල්ලේ ප්‍රභාකරන් පුරා තිස් වසරක් යුද කළේය. ස්වකීය අරමුණ දිනාගැනීම වෙනුවෙන් ඔහු නිරන්තරයෙන්ම මිලේජ්ච්චත්වය ප්‍රදර්ශණය කළේය.

සාමාන්‍යයෙන් යුද්ධයකදී සිදුවන්නේ මුහුණට මුහුණලා සටන් කිරීම හෝ සැඟවී සිට ගරිල්ලා ක්‍රමයට පහරදීමයි. නමුත් ප්‍රභාකරන්ගේ යුද්ධය එසේ නොවේ. ඔහු යුධ කලේ ගම්මානවලට වැඳි අවිහිංසක නිරායුධ මිනිසුන් අමු අමුවේම ඝාතනය කරමිනි.

ප්‍රභාගේ ඊළාම් සිහිනයට මෙරට පමණක් නොව ජාත්‍යන්තර නායකයන්ද බිය විය. නිදහසේ ජීවත්වන්නටනම් ප්‍රභාට ඊළම දියයුතු බවට දේශීය නායකයෝ මෙන්ම ජාත්‍යන්තර නායකයෝද විශ්වාස කළහ.

ප්‍රභාකරන් සිව්වැනි ඊළාම් යුද්ධය ආරම්භ කරන්නේ මාවිල්ආරු සොරොව්ව වසා දමමිනි. ජනතාවගේ හුස්ම පොද පමණක් නොව බොන වතුර බිඳුවඳ ඔහු සිහින ඊළාම් දේශය වෙනුවෙන් උගසට තබාගත්හ. ඔහුට වැරදුනේ එතනය.

මාවිල්ආරුසටන දින දහනවයක් පුරාවට පැවැතිණි. 2006 අගෝස්තු 08 දා ප්‍රභාකරන් හමුදාව පසුබැස පලා ගියහ. මෙය යක්ෂයාගේ පළමු පරාජය ලෙස සඳහන් කළ හැකිය. ප්‍රභාකරන්ගේ ඒ පරාජයත් සමඟ ආරම්භවූ සිව්වැනි ඊළාම් සටන ඉතාම සංවිධානාත්මකව ඉදිරියටත් සිදුකරගෙන යන ලදී.

එය නිමාවට පත්වන්නේ 20019 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවේ තිබූ වෙඩිවැදී මියගිය ප්‍රභාගේ සිරුර රණවිරුවන් විසින් සොයාගැනීමත් සමඟය.

මෙම ජයග්‍රහණය විවිධාකරයෙන් අර්ථ ගන්වා ඇත. එහෙත් සමස්තයක් ලෙස බැලූ කළ මෙය ද්‍රවිඩ ජනතාවට එරෙහිව සිදුකළ සටන් නොව හුදෙක්ම ත්‍රස්තවාදයට, බෙදුම්වාදයට හා ජාතිවාදයට එරෙහිව සිදුකළ සටනකි. මේ සටනේ ජයග්‍රහණය ලියවෙන්නේ තනිකරම රුදිරයෙනි. එහෙයින් මේ ජයග්‍රහණයේ බර වැඩිය.

මෙය ඉතාම සැළසුම් සහගතව සිදුකළ යුද්ධයකි. ඒ නිසා සිවිල් ජනතාවට නිකරුනේ මරුවැළඳ ගන්නට සිදුවූයේ නැත. මේ යුද්ධය සඳහා නිවරදි දේශපාලන නායකත්වය හිටපු ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් අතර, වත්මන් ජනපති, එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්   ත්‍රිවිධ හමුදාවට නිදහසේ යුද්ධය කරගෙන යෑමට ඉඩදෙන ලදී.

එවකට යුධ හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද හමුදාවටත්, අද්මිරාල් ඔෆ්ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ නාවුක හමුදාවටත්, මාර්ෂල් ඔෆ් ද එයාර්පෝස් රොෂාන් ගුණතිලක ගුවන් හමුදාවටත් නායකත්වය ලබාදුන් අතර එවකට පොලිස්පතිවරයා වූ ජයන්ත වික්‍රමරත්න මහතා පොලීසියට නායකත්වය ලබාදුන් අතර රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා සිවිල් ආරක්ෂක බලකායට නායකත්වය ලබාදුනි. යුද්ධය ජයගත්තේ මේ සියල්ලන්ගේම එකමුතුවෙනි.

අද මේ බොහෝ දෙනෙක් තැන් තැන්වලය. යුදහමුදාවට නායකත්වයදුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ජනාධිපති හා අගමැතිවරයාත් අද පසමිතුරන්ය. යුද්දයට භුමියේ නායකත්වය සැපයූ ජෙනරල් කමල් ගුණරත්න, මේජර් ජෙනරල් ජගත් ඩයස්,මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ඇතුළු රණවිරුවන් හමුදාපතිකම නොලැබ හිස් අතින්ම ගෙදර ගියහ. එමෙන්ම වත්මන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රණවිරුවන් බොහෝ දෙනෙකුට විදේශ රටවලින් නෛතික සම්බාධක වැටිලාය.

විදෙස් රටවල් පමණක් නොව එන්.ජී.ඕ මුදලින් යැපෙන මෙරට බොහෝ දෙනෙකුද යුද හමුදාව යුද අපරාධ කළ බවට තවමත් චෝදනා නඟති. එහෙත් යුද්ධයේ අවසන් මොහොතේදී ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් මෙරට ත්‍රිවිධ හමුදාවන් අතින් කිසිඳු සිවිල් වැසියකු ඝාතනය වූයේ නැත.

එසේ සිවිල් වැසියන් ඝාතනය වූවානම් ප්‍රභාකරන්ගේ මවත් පියත් අවසන් සුසුම් හෙලනතුරු හමුදා රැකවරණ මැද ජීවත්වන්නේ නැත. යුද හමුදාව අතින් මානව හිමිකම් කඩවූ බවට ත්‍රිවිධ හමුදාවට චෝදනා කරන පිරිස් පළමුව කියවිය යුත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායිකාවක වන තමලිනී විසින් රචිත තියුණු අසිපතක සෙවණ යට නැමැති කෘතියයි. එමඟින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැබෑ හඳවත ලොවට විවර වේ.

එමෙන්ම යුද්දයෙන් පසුව හමුදාවට බාරවූ සහ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දො‍ලොස්දහසක් පමණ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කොට සමාජගත කරන ලදී. ලොව කිසිඳු රටක ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කර නැත.

කෙසේ වෙතත් යුද නිමාවෙන් පසුව රටෙහි ඇති වූ ජාතිකවාදී රැල්ල සමග සිංහල - බෞද්ධ ජාතිකත්වය පෙර නොවූ  ආකාරයට ප්‍රබලව  සමාජයීය වශයෙන් රට තුළ බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇත. අද වන විට සිංහල බෞද්ධ ජාතිකවාදී කණ්ඩායමි රටෙහි අනෙකුත් සුළුතරයන්ට එල්ල කරනු ලබන බලපෑම පදනමි වී ඇත්තේ යුධ  ජයග්‍රහණයෙන් පසු සිංහල - බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කිරීම සෑම සිංහල බෞද්ධයෙකුගේම වගකීම යැයි ගෙනයනු ලබන සටන් පාඨයත් සමගය.

යුද්ධයෙන් පසුව සමාජයේ ඇති කළ යුතුව තිබූ සංහඳියාව ඇති කිරීමට පැවති රජය කිසඳු උත්සාහයක් ගත්තේ නැත. ඒ නිසා පෙර නොතිබූ ආකාරයේ බෙදීමක් අද සමාජයේ දැක ගත හැකිය. මේ ක්‍රමය ඉතාම ඉක්මනින් වෙනස් ‍විය යුතුය. එසේ නොවහොත් අපට ගොඩ ඒමක් නැත.

දයා විජේභාහු


එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා


එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ


එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල සරත් ෆොන්සේකා

එවකට ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක


එවකට නාවුක හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ



එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න

 
අවසන් සටනට නායකත්වය දුන් සෙන්පතිවරුන්


More News
...
Friday, 04 June 2021 - 18:10

සත්‍යසැමදා බොරුවෙන් වසා තැබිය නොහැක. හුදු ලාභ ප්‍රයෝජන , ඩොලර් කුට්ටි, ටොක් ෂෝ වලට යටවී නොයෙක්...   Read more

...
Monday, 17 May 2021 - 13:45

විශ්වය ජය ගත්තද මිනිසාට ස්වභාව ධර්මය ජය ගැනීමට කවදාවත් හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා ස්වාභාවික...   Read more

...
Wednesday, 12 May 2021 - 13:32

කොරෝනා වයිරසය පරාජය කිරීමට අපේම ක්‍රමවේදයක් එනම් දේශීය ක්‍රමවේදයක් සොයගත යුතුය යන මතය මුලින්ම...   Read more

දවසේ වීඩියෝව
logo