Thursday, 10 June 2021 - 8:59
අලි පාඩමක්
...

චීනයේ සමාජ මාද්‍ය, මාධ්‍ය කෙරෙහි ජනතාවගේ වැඩි අවධානයක්මේ දිනවල යොමු වී ඇත්තේ අලි රංචුවක් නිසාවෙනි. 15 දෙනෙකුගෙන් සමන්විත මේ අලි රංචුව පසුගිය වසරේ අභය භූමියකින් පලා ගිය පිරිසක් බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට කිලෝමීටර් 500කට වැඩි දුරක් සංචාරය කර තිබේ.

ගම් නියම් නගර මැද්දෙන් මාර්ග බාධක සුණු විසිණු කරගෙන ඔවුන් උතුරු දෙසට ගමන් කරමින් සිටිති. අලි පැටව් තිදෙනෙකු ද මේ පිරිසට අයත් වන අතර එක් අලි පැටයෙකු ගමන අතරතුර දී රැලට එකතු වූවෙකි.

මේ වන විට අලින්ගේ ගමන නිසාවෙන් සිදු වී ඇති විනාශය ඩොලර් මිලියනකට අධික බවට ගණන් බලා තිබේ. ‍

මොවුන් පිටුපසින් ඩ්‍රෝන යානා දුසිමකට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරන්නේ ඔවුන්ගේ ගමන, කෑම බීම සියල්ල නිරීක්ෂණය කරමිනි. ඔවුන්ගේ දැනුවත් වීමකින් තොරව සිදු කෙරෙන වීඩියෝ ඒ මොහොතේම සජීවි ලෙසින් විකාශනය වන අතර මිලියනකට අධික සංඛ්‍යාවක් එම වීඩියෝ ඔන්ලයින් නරඹනු ලබති.

නරඹන්නන් වැඩි දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ අලුත උපන් පැටවා හා අනෙක් පැටව් දෙදෙනා වෙතටය. පසුගියදා මිලියන 8ක් නැරඹු වීඩියෝ පටයේ දක්නට ලැබුණේ නිරිතදිග යුනාන් පළාතේ කුන්මින් නගරය අසළ වැඩිහිටි අලි රංචුව බිම වැතිරී නිදා සිටින අයුරුත් එක් කුඩා පැටවෙකු වැඩිහිටි අලියෙකුගේ සිරුරට යට වී සිටින අයුරුත් ය.

එක් වීඩියෝවක වැඩිහිටි අලින්ගෙන්මඟ හැරුණු අලි පැටව් තිදෙනා ඔවුන් ගිය ගමන් මගේ ක-ඹුරු යායක් මැද්දෙන් වේගයෙන් දිව යනු දක්නට තිබිණි. තවත් වීඩියෝවක තිබුණේ එක් අලි පැටියෙකු දිය බොන්නට පොකුණකට හිස දමන අයුරුත් ඔහු පොකුණ තුළට ඇද වැටෙන අයුරුත් ය.

අලි පැටව්න්ගේ හුරතල්කම සමඟ එම සජීවි විකාශනයන් මඟ නොහැරම නරඹන සංඛ්‍යාව අධිකය.

“එයාලා නිදා ගනිද්දී එයාලාට සීතල නැද්ද? මට ඔවුන්ව උණුසුම් පොරෝනයක් මත තියන්න ඕනේ...” වෙයිබෝ සමාජ මාධ්‍ය ජාලයේ තිබූ අලි නිදන ඡායාරූපය යටින් එක් නරඹන්නන්නෙකු සටහන් තබා තිබිණි.

කෙසේ වෙතත් අලි කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙද්දී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නව මිනිස් තරු බිහිවෙන්නට පටන් ගෙන ඇත. ඔවුන් අලි වෙනුවෙන් පෙනී සිටිමින් සේම බලධාරීන් නගරවලින් අලි ඈත් කරද්දී ඉතිරිව තිබූ ඉරිඟු හා අන්නාසි සඳහා අත තබමින් ඡායාරූප ගැනීමට වීඩියෝපට ගැනීමට ඔවුන් පොරබැදූහ.

එපමණක් නොව සමහරුන් වැඩි ආකර්ෂණයක් ජනප්‍රියත්වයක් හිමි කර ගැනීම සඳහා ඒ ඉතිරි අන්නාසි ආදිය ආහාරයට ගන්නා ආකාරයේ වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කර තිබේ.

මිනිස් තරුවල හැසිරීම කෙසේ වෙතත් අලි රංචුව නොනවත්වා උතුරු දෙසට ගමන් කරන්නේ ඇයිදැයි පැහැදිලි නැති කරුණකි. ඔවුන්ගේ නිවාසය වූ වැසි වනාන්තර අඩු වෙමින් යාම ඊට හේතුව වෙන්නට ඇතැයි සමහරු පවසද්දී තවත් පිරිසක් සඳහන් කරන්නේ එම කන්ඩායම අතරමං වී ඇති බවයි.

“ඔවුන් ඔවුන්ගේ ගමනනාන්තයට ළඟා වෙන්නේ කවදාදැයි නොදැන සිටීම ඇත්තටම කණගාටුවට කරුණක්..”
එක් වෙයිබෝ පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

අලින්ගේ ගමන නරඹමින් විනෝද වීමට වඩා බැරෑරුම් පැත්තක් තිබෙන බව ජීව විද්‍යාඥයන් සඳහන් කරයි. ඔවුන්ගේ අදහසට අනුව අලින්ගේ වාසස්ථාන නැතිව ගිය කල යන එන මං නොමැතිව හමුවෙන සියල්ල විනාශ කර දමමින් ඔවුන්ගේ තැනක් සොයාගෙන ගමන් කරන තත්ත්වයකට අලි පත් වැයි හැකි ය.

චීනයේ වෙසෙන ආසියානු අලියා (එලිෆාස් මැක්සිමස්) එරට ආරක්ෂා කර ගත යුතු සත්ත්වයෙක් ලෙස නම් කර තිබේ. මේ වන විට චීනයේ අලින් සිටින්නේ 300ක පමණ සංඛ්‍යාවකි. වැඩිම ආසියානු අලි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ වාසය කරන අතර ඊට අමතරව ඉන්දියාව, නේපාලය, සුමාත්‍රා හා බොරේනෝ රටවල ද මෙම අලින් වෙසෙති.

වයස අවුරුදු 60 - 75ත් අතර කාලයක් ජීවත් වන මොවුන් වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක් ලෙස නම් කර ඇත්තේ 1986 සිටය. විශේෂයෙන්ම වනාන්තර හිඟවීම මිනිස් තර්ජන ඔවුන්ගේ වඳවීමට හේතූන් වී තිබේ.

අලින් වාසය කරන සෑම රටක්ම පාහේ මුහුණ දෙස බැරෑරුම් ගැටලුව වන්නේ අලි මිනිස් ගැටුමයි. මිනිසුන්ගේ වගා පාළු කිරීම හේතුවෙන් ගෙවුණු දශක කිහිපයේදී චීනයේ කෘෂිකර්මාන්තයට විශාල පාඩුවක් සිදුව ඇති බව සඳහන් වේ. තමා ජීවත්වන වනාන්තර එළි වෙද්දී ආහාර හිඟ වෙද්දි අලි ඇතුන් ආහාර සොයාගෙන ගම් වදිති.

අලි සේම මිනිසා ද ජීවත් වීමට පොර බදිද්දී වැඩි අවාසියක් සිදු වන්නේ අලින්ටමය. ඔවුන් වෙඩි ප්‍රහාරවලට ලක්වී දුක් විඳිති. සමහරු මිය යති. ජන ජීවිතය නුහුරු අලින් නොදැනුවත්ව මිනිසාගේ ආහාර සේම නිවාසවලට හානි කරති. ජීවිත හානි ද සිදුවෙති. ඉදින් දෙපිරිස අතර ගැටුම් ඇතිවෙති.

අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීමට සදඟා චීන බලධාරීන් විසින් අලි ඇතුන් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත් කර තැබීමට උත්සාහ කරති.

ඒ සඳහා පැය විසිහතරම ක්‍රියාත්මක වෙන නිරීක්ෂණ මධ්‍යස්ථානයක පිහිටුවා ඇති අතර වනජීවි ජීව විද්‍යාඥයකු හා බීජිං විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු වන ෂැංග් ලී පවසන්නේ අලි ඇතුන් අනාගතය වෙනුවෙන් ද ජීවත් කරවීම සඳහා ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත් කළ යුතු බවයි. නිරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා නොවන බවත් එකම විසඳුම ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් ඔවුන්ගේ භූමිය ලබා දීම බවත් ඔහු සඳහන් කරයි.

“මිනිසුන් හා අලි ඇතුන් අතර ඇති සම්ප්‍රධායික ස්වාරක්ෂක කලාප ක්රමයෙන් අතුරුදහන් වෙමින් පවතින අතර ඒ හේතුවෙන් අලි ඇතුන් හා මිනිසුන් එකිනෙකා හමුවීමේ සම්භාවිතාව ස්වභාවිකවම විශාල ලෙස ඉහළ යනවා..”
ඔහු පවසයි.

මේ තත්ත්වය වලංගු වන්නේ චීනයට පමණක් නොව අලි වෙසෙන් සියලු රටවල්වලට ය. ස්වභාවික සම්පත ආරක්ෂා කරමින් අලි ඇතුන්ගේ වාසස්ථාන ප්‍රතිසංස්කරණ නොකළහොත් අනාගතයේ ‘අලියා’ යනු පින්තූරවලට වීඩියෝවලට පමණක් සීමා වන සත්ත්ව විශේෂයක් වෙනු ඇත.

පවනි උමයංගනා
අන්තර්ජාලය ඇසුරිනි.



More News
...
Sunday, 13 June 2021 - 13:18

රුසියාවේ මොස්කව් අගනුවරට වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ගෙවුණු සතියේදී කොවිඩ් ව්‍යාප්තිය...   Read more

...
Sunday, 13 June 2021 - 10:53

අමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය,...   Read more

...
Saturday, 12 June 2021 - 17:15

චීනය පසුගිය මැයි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත පර්යේෂණ යානාවක් යැවීය. එම යානාවෙන් ලබාගත් ඡායාරූප...   Read more

දවසේ වීඩියෝව
logo