Tuesday, 15 June 2021 - 12:30
යර්ස් සර් - නෝ සර්
...

 

 '2015 ජනාධිපතිවරණය වෙලාවේ හමුදාව දමාගෙන අප කිසියම් කුමන්ත්‍රණයක් කළ බවට එල්ලවූ චෝදනාව නිසා උදයට රහස් පොලීසියට යන්නට සිදුවුණා. 2015 ජනාධාපතිවරණ පරාජයත් සමඟ අප උදෙන්ම අරලියගහ මන්දිරයෙන් එළියට බැස්සා. ඉන්පසුව අප ජනාධිපතිමන්දිරයෙන් එළියට බැස්සා. ඒ හැම අවස්ථාවකදිම උදය හිටියේ අපත් සමඟයි. පරාජය වෙලා අපි ගමට යනවිටත් ඔහු අපිත් සමඟ හිටියා.

ජනාධිපතිවරණ පරාජයත් සමඟ මැදමුලනට යන්නට මා අදහස් කළා. හැබැයි ගම්මන්පිල එයට ඉඩක් දුන්නේ නැහැ. එතන තවත් පිරිසක් හිටියා. ගම්මන්පිල ඇතුළු ඒ පිරිස ජනතාව සමඟ පැමිණ නැවත දේශපාලනයට එන ලෙස ඉල්ලා සිටියා. ඒ නිසා මම නැවත දේශපාලනයට ආවා.ˈ
                         අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
අපේ සටන කාටුන් ඇසින් කෘතිය එළිදැක්වීම
තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය
2020 මාර්තු 12
 
මේ වනවිට පිවිතුරු හෙළ උරුමය නැමැති ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂයේ නායකයාව සිටින උදය ගම්මන්පිල වෘත්තියෙන් නීතීඥයෙකි. ඔහු මුලින්ම දේශපාලනය අරඹන්නේ තිලක් කරුණාරත්න, එස්.එල් ගුණසේකර, පාඨලී චමිපික රණවක ඇතුළු පිරිස විසින් පිහිටුවාගන්නා සිහල උරුමය නැමැති දේශපාලන පක්ෂයෙනි. මතකය නිවරදිනම් ඒ 2000 වසරේදීය.

ඉන්පසුව ගෙවිගිය දශක දෙකක පමණ කාලයේදී ගම්මන්පිල මෙරට‍ දේශපාලනයට ඉතාම සක්‍රීයව දායකවූ චරිතයකි. හැම විෂයක් ගැන හැම විටම කතාකරන බැවින් ගම්මන්පිල විපක්ෂයටත් විශේෂයෙන් ආණ්ඩුවේ සුළු පිරිසකටත් පෙනෙන්නට බැරිය.

2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන පසුව ගම්මන්පිලට රාජ්‍ය අමාත්‍යධූරයක්වත් නොලැබෙන්නේ දේශපාලන වේදිකාවේ ඔහුගෙන් කියවුන යම් යම් ප්‍රකාශයන් නිසා බව ප්‍රසිද්ධ රහසකි.

කෙසේ වෙතත් ගම්මන්පිල යනු ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි විප්ලවවාදී චරිතයකි. ඒ බව හොඳින්ම පිළිඹිබුවූයෙන් 2015 ජනාධිපතිවරණ සමයේදී හා එම වසරේම පැවැති මහමැතිවරණයේදීය.

එවකට ජනාධිපතිවරයාවූ මහින්ද රාජපක්ෂට සහය දැක්වූ ගම්මන්පිල හා චම්පික රණවක නියෝජනය කළ ජාතික හෙළ උරුමය එම ජනාධිපතිවරණයේදී රජයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයාවූ මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීන්දු කළේය. චමිපික රණවක එම රජයේ ප්‍රබල ඇමතිවරයෙකි.

ගම්මන්පිල බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකි. එවැනි පසුබිමික් මත  සීගිරි ගල බඳු ශක්තිමත් රාජපක්ෂ රජයට එරෙහිවීම යනු සියතින්ම තම ගෙල සිඳගැනීම වැනි ක්‍රියාවකි. නමුත් ජාතික හෙළ උරුමය එම තීන්දුව ගත්තේය. එහෙත් ටික දිනකින්ම ගම්මන්පිල ජාතික හෙළ උරුමයේ තීන්දුවට අභියෝග කරමින් නැවත මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවිය.

ජාතික හෙළ උරුමයවත්,  චම්පික රණවකවත් ගම්මන්පිලගෙන් එවැනි ක්‍රියාවක් කිසිසේත්ම අපේක්ෂා නොකළේය. ගම්මන්පිල මහින්දට එක්වූවා පමණක් නොව පොදු අපේක්ෂක මෛත්‍රීටත්, එක්සත් ජාතික පක්ෂයටත්, චමිපිකටත් අභියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ හිතට එකඟව ආණ්ඩුවක තමන්ට සිටිය නොහැකි බවත්, එවැනි ආණ්ඩුවකින් රටට අනර්තයක් මිස යහපතක් සිදු නොවන බවත් කීවේය. ගම්මන්පිලගේ දුරදක්නා නුවණ  කොයිතරම් නිවරදිද යන්න පසුගිය යහපාල ආණ්ඩුවේ පස්අවුරුද්ද දෙස නැවත හැරී බලන ඕනෑම අයකුට වැටහෙනවා ඇත.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් රාජපක්ෂවරුන් හතරගාතේ වැටිණ. සමහරු පැදුරටත් නොකියා පොදු අපෙක්ෂක මෛත්‍රී සරණ ගියේය. මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට එන බව ගම්මන්පිල කියන්නේ ජනාධිපතිවරණ ප්‍රථිඵල නික්මී පැය 78 ක් ඉක්ම යන්නටත් පෙරය.

එවිට නැවත දේශපාලනයට පැමිනීමක් ගැන මහින්ද හිතලාවත් නැ. ඔහු මැදමුලන නිවසේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් මෛත්‍රීට හිමිවීමත් සමඟ මහින්ද බලන්නට යන්නට ඒ පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් පස්ස ගැසුවේය.

සමහරු ජාතික ආණ්ඩුවට රිංගා මෛත්‍රීගෙන් ඇමතිකම් ගත්තේය.එහෙත් විමල් හා ගම්මන්පිලත්, කුමාර වෙල්ගමත්, සාලින්ද දිසානායකත් නොසැලී මහින්ද රාජපක්ෂ සමඟ සිටියේය.

මේ ආණ්ඩුව බිහිවන්නේ සාගර කාරියවසම්ලා වැනි චිටි මන්ත්‍රීවරුන් නිසා නොව ගම්මන්පිල, විමල්ලා කළ ඒ අවධානම් කැපවීම නිසාය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක,ධනසිරි අමරතුංග වැනි අය නැත්නම් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂයක් බිහිවීමක් ගැනවත් සිතීම උගහටය.

යරස් සර්, නෝ සර් කීමට පමණක් ට අරින පොහොට්ටුවේ රූකඩ ලේකම් සාගර කාරියවසම්ලාට උපදෙස් දෙන දේශපාලන න්‍යායචාර්යවරුන් එකල සිටියේ විදෙස්ගතවය.

ගම්මන්පිල කීවාක් මෙන් මිට වසර පහකට පෙර සාගර කාරියවසම් යනුවෙන් ප්‍රාණියෙකු මිහිපිට වෙසෙනා බව දැන සිටින්නට ඇත්තේ කාරියවසම්ගේ පවුලේ සාමාජිකයන් පමණි. 2015 පෙබරවාරි මාසයේදී විමල්ලා නුගේගොඩ මහින්ද සුළඟ රැළිය නොපැවැත්වූයේනම් කාරියවසම් යනු තවමත් පවුලට සීමාවූ චරිතයකි. කාරියවසම් ගොඩ ගියෙත් ඒ මහින්ද සුළඟෙනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිවෙන්නෙත්, මහින්ද රාජපක්ෂ අගමැති වන්නෙත්, සාගර කාරියවසම් පොහොට්ටුවේ ලේකම්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නෙත්, බැසිල් රාජපක්ෂ රජුන් තනන්නා බවට පත්වන්නෙත් එදා විමල්, ගම්මන්පිල හා සීමිත පිරිසක් කැපකළ අසීමිත කැපවීම නිසාවෙනි.

මන්ත්‍රීකම රැක ගන්නට පොහොට්ටු ලේකම්ට ඒ බව අමතකයැයි විශ්වාස කළ හැකි වුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඒ බව අමතකයැයි විශ්වාස කළ නොහැකිය.

පසුගිය ජනාධිපතිවරණයේදී රැස්වීම් ආමන්ත්‍රණය කරමින් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාම ගමන් කළේය.

යහපාලන ආණ්ඩුවට විරුද්ධව මහපොළවේ ජනමතය හැදුවේ ඔවුන්ය. අද ප්‍රබල ඇමතිකම් දරණ ඇමතිවරුන් කොළඹින් එහාට ‍නොගියේය. පොහොට්ටු ලේකම් කාරියවසම් නම් කොළඹ රැස්වීමකදීවත් දැක්කේ නැත. අද මාධ්‍යයට පොරටෝක් දෙමින් නිවේදන නිකුත් කරන කාරියවසම් එකළ මාධ්‍ය හමුවකට වාඩිවන්නෙත් හදිස්සියෙනි.
එකළද පොහොට්ටුවේ ලේකම්වූ ඔහු වචන දෙක තුනකට වඩා කතා කරන්නෙත් නැත.

ආණ්ඩුව පිහිටවුවත්, ආණ්ඩුව කරන ඇතැම් ක්‍රියා විමල්වත්, ගම්මන්පිලවත් අනුමත කළේ නැත. විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම වැනි කාරණාවලදී ඔව්හු ආණ්ඩුවේ පැත්ත නොව ගත්තේ පොදු මහජනතාවගේ පැත්තය.

ආණ්ඩුවේ ඇමතිකම් කරමින් ආණ්ඩුව විවේචනය නොකරන ලෙසත්, බැරිනම් අයින්වන ලෙසත් ඉහළින් ඔවුන්ට දෙතුන්වරක්ද දැනුම් දුන්නේ වරක් දෙවරක් නොවේ.

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට දේශපාලනය නොතේරෙන බව ඉතාම පැහැදිලිය. නිසි දේශපාලන දැක්මක් ඇත්තෙකුනම් සාගර නටවන්නට බැරිය. පක්ෂයක ලේකම්කම යනු ඉතා බලසම්පන්න තනතුරකි. නමුත් පොහොට්ටුවේ ලේකම් තනතුර අනුන්ගේ අත්ලමත නැටවෙන රූකඩයකි. කාරියවසම් ගසකට මුවාවී අනිත් අයට ගල් ගසයි.

මුවාවී සිටින ගස විනාශවී ගිය දිනට කාරියවසම් එළියේය. එදාට ඔහු ආරක්ෂාකර ගන්නට කෙනෙක් නැත. දේශපාලනය දන්නේනම් ඔහු මෙලෙස අමනෝන්‍ය ක්‍රියා නොකරනු ඇත.ඔහු ශූර දේශපාලනඥයකුනම් ගම්මන්පිලගේ අභියෝගය බාරගෙන විවාදයට එක්විය යුතුය. එසේ වුවහොත් කාරියවසම් පොරකි.

කෙසේ වෙතත් මැදමුලනට ගිය මහින්ද රාජපක්ෂ දේශපාලනයට කැඳවාගෙන ඒමේ කොන්ත්‍රාත්තුව ඉටුකළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද ආණ්ඩුව සමඟ මතවාදී ගැටුමකය. ඒ කල්ලියේ සිටි කුමාර වෙල්ගම අද විපක්ෂයේය.

ඒ කල්ලියට සහය දෙමින් සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකළ සාලින්ද දිසානායක, ටී.බී ඒකනායක හා රංජිත්‍ සොයිසා අද ජීවතුන් අතර නැත. එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ මසදීම බොහෝවිට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිව්රුම් දෙනු ඇත. රනිල්ද දේශපාලනයේ නූල් සූස්තර කාරයෙකි.

මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතාද සිටින්නේ ආණ්ඩුව සමඟ කොක්කකය. ඒ නිසා මාධ්‍ය සංදර්ශණ වෙනුවට බිම්මට්ටමේ ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවේ ලොක්කන් ඉක්මන් විය යුතුය. මේ වෙන වැඩවලින් ජනතාවට ක්‍රමයෙන් මේ ආණ්ඩුව එපා වෙමින් තිබේ.

දැන් සියල්ල ඉතිහාසයට අයිතියැයි කියා අත්පිසදා ගන්නට ආණ්ඩුවේ ලොක්කන්ට බැරිය. ගම්මන්පිල-කාරියවසම් ගැටුමට මුවාවී කල්මරනවා වෙනුවට ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුය.

එසේ නොවුනහොත් වන්නේ කුමක්දැයි ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් හා පළාත් සභා මැතිවරණයෙන් බලාගතහැකි වනු ඇත.

ජනතාවට තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එපාවී නැත. ඒ නිසා ආණ්ඩුව ඉක්මන් විය යුතුය.

දයා විජේභාහු.
 
 


More News
...
Friday, 04 June 2021 - 18:10

සත්‍යසැමදා බොරුවෙන් වසා තැබිය නොහැක. හුදු ලාභ ප්‍රයෝජන , ඩොලර් කුට්ටි, ටොක් ෂෝ වලට යටවී නොයෙක්...   Read more

...
Wednesday, 19 May 2021 - 12:51

                        වසර 2009 මැයි 19 වන දින උදෑසන නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර අසල තිබූ...   Read more

...
Monday, 17 May 2021 - 13:45

විශ්වය ජය ගත්තද මිනිසාට ස්වභාව ධර්මය ජය ගැනීමට කවදාවත් හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා ස්වාභාවික...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...